මත් උවදුර සහ පාතාලය මැඩ, ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණියක් (වීඩියෝ)

ජූලි 30, 2020
  • මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (30) ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන වරටත් චාරිකා කරන ජනාධිපතිතුමා කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන තොරණ ඉදිරිපිට පැවති ජනහමුවට සහභාගීවෙමින් එසේ සඳහන් කළේය.

    අපේකෂක නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ. ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගත් “දස වැදෑරුම් කැලණි ප්‍රකාශය” සිසිර ජයකොඩි මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    රැස්ව සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඓතිහාසික කැලණියට හිමි ප්‍රෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුරංග යන අමාත්‍යවරුන් සහ අපේක්ෂක ප්‍රසන්න රණවීර, වෛද්‍ය සිතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    අපේක්ෂක නලින් ප්‍රනාන්දු මහතා ජා-ඇළ නගර මධ්‍යයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාවගෙන් ප්‍රදේශයේ අඩු පාඩු විමසා බැලීය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කර ගංවතුර පාලනයටත්, ජා-ඇළ නගර සංවර්ධනයටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

    අපේක්ෂක ලලන්ත ගුණසේකර මහතා කටාන, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුවට එක්වූ ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාව මහත් හරසර පුද කළහ.

    වැඩම කර සිටි මහා සංඝරත්නය රජය ගෙන යන “සෞභාග්‍යයේ ගෙවත්ත” වැඩපිළිවෙල ඉතා ඉහලින් අගය කළ අතර, එහි ප්‍රවර්ධනය සඳහා ජනතාව දිරිගැන්වීමට පන්සල ඇතුළු ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගන්නා බව පැවසූහ.

    බීජ සහ තොරතුරු බෙදා හැරීමට සියලු ආගමික ස්ථාන සහභාගී කර ගැනීමේ වැදගත්කම මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

    වයස අවුරුදු 20 දී උපාධිය සම්පූර්ණ කිරීමට “සෞභාග්‍යයේ දැක්මේ” යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි සිසුහූ පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජූලි 2020 20:13

    Latest News