සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් අභියාචනා විභාගය දෙවන දිනටත්

ජූලි 29, 2020

    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා අද දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

    කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

    එහිදී ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් 2015 වසරේ ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති ලෙස කටයුතු කළ ජනාධිපති අපේක්ෂකයාට දේශපාලන වාසියක් සලසා දීමේ අටියෙන් සිල් රෙදි බෙදා හැරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විසින් එල්ල කරන චෝදනාව පදනම් විරහිත බව තර්ක කළා.

    විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කෙරුණේ 2015 වසරේ ජනාධිපතිවරණයට බොහෝ පෙර එනම් 2014 වසරේ මාර්තු මාසයේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මහාධිකරණ නඩු විභාගයේදි සාක්ෂි දුන් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ සාක්ෂි වලින් ඒ බව මනාව තහවුරු වන බව ද සඳහන් කළා.

    එමෙන්ම අදාල සිල්රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක් වෙන් කිරීම සිදු වූයේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේ බවත් එම මුදල් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරු කිරීම 2014 වසරේ දෙසැම්බර් මස පස්වන දා සිදු වූ බවත් සාක්ෂි වලින් තහවුරු වී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

    එසේ තිබියදී 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමය ඉලක්ක කර ගනිමින් එවක සිටි ජනාධිපතිවරයාට දේශපාලන සහයක් ලබා දීම සඳහා සිල් රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවට මහාධිකරණ විනිසුරුවරයා එල්ල කරන චෝදනාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව ද මෙහිදී ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා තර්ක කලා.

    සිල් රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කරනු රුපියල් මිලියන 600 ක මුදල තම සේවාදායක හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ පෞද්ගලික ගිණුමට කිසිසේත්ම බැර වී නොමැති බවත් එම මුදල් පැමිණ තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුම්වලට බවටත් නඩු විභාගයේ දී සාක්ෂි වලින් තහවුරු වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව තම සේවාදායකයා රුපියල් මිලියන 600ක මුදලක් වංක ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල කර තිබෙන චෝදනාව පදනම් විරහිත බවත් සඳහන් කළා.

    තම සේවාදායකයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරුවරයා අනවශ්‍ය ලෙස සාක්ෂිවලට මැදිහත්වීම් සිදු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා නඩු විභාගය තුළ අවස්ථා 66ක දී සාක්ෂිකරුවන් වෙත ප්‍රශ්න 287 ක් යොමු කිරීම තුළින් මේ බව සනාථ වන්නේ යයි ද චෝදනා කර සිටියා.

    අනතුරුව ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර විමසීම අගෝස්තු මස 24 වනදා තෙක් කල් දැමුණා.

    එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා.

    එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබුවා.

    තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

    Latest News