සෞඛ්‍ය නිර්දේශ අනුව මැතිවරණය පැවැත්වීම ගැන ත්‍රිකුණාමලේ දී විශේෂ සාකච්ඡාවක්

ජූලි 29, 2020

    එලඹෙන මහ මැතිවරණයේදී සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී ජේ. එස්. ඩී. එම්. අසංක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම මැතිවරණයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2,88,868 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. මහජනතාවට තමන්ගේ ඡන්දය පූර්ණ නිදහසේ සහ සැකයකින් තොරව භාවිතා කිරීමට අවශ්‍ය සෞඛ්‍ය වැඩපිලිවෙල දැනටමත් විධිමත් අයුරින් සකස් කොට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම සෞඛ්‍යමය නිර්දේශ අකුරටම ජනතාව විසින් පිලිපැදීම ඉතා වැදගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

    එසේ නොවුනහොත් මැතිවරණයෙන් පසු covid 19 අවධානම් තත්වයක් ඇති විය හැකි බව එතුමා අවධාරණය කරමින් කියා සිටියේ ය. එමෙන්ම මහජනතාව ඡන්දය භාවිතා කිරීමට පැමිණිමේදී හැකිනම් කළු හෝ නිල් පැහැ බෝල්පොයින්ට් පෑනක් රැගෙන පැමිණිය හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

    දිස්ත්‍රික්කයේ සියළුම ඡන්ද මධ්‍යස්ථාන සෞඛ්‍ය නිර්දේශ අනුව සූදානම් කරන බැවින් මහජනතාවට කිසිදු බයකින් හෝ සැකයකින් තොරව තම ඡන්දය භාවිතා කිරීමට හැකි බවත් එතුමා මෙහිදී කියා සිටියේය. ඡන්ද පොල මධ්‍යස්ථාන 307 ක් හා ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස තෝරා ගත් ත්‍රිකුණාමල විපුලානන්ද විද්‍යාලයේදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 44 ක් සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර එම කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රාදේශීය වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය වී. ප්‍රේමානන්ද් මහතා පැහැදිළි කළේ ය.

    දිස්ත්‍රික්කයේ සියළුම ඡන්ද පොල මධ්‍යස්ථාන අදාළ ප්‍රදේශයන්ට සම්බන්ධ වන ප්‍රාදේශීය වෛද්‍ය අධිකාරිවරයාගේ නිරීක්ෂණය යටතේ එම කටයුතු සිදුකරන බවත් තේරීම්භාර නිලධාරීන්ගේ හා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කරන බවත් ප්‍රාදේශීය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

    එමෙන්ම දැනට පවතින වාතාවරණය අනුව එලඹෙන 05 වනදා වනවිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන සහ ස්වයං නිරෝධායනයට ලක් කළ නිවෙස්වල සියළුම පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව නිමාවන බව තවදුරටත් සඳහන් කළේ ය. මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. සුදාහරන් මහතා, ප්‍රාදේශීය වෛද්‍ය අධිකාරි ඇතුළු නිලධාරින් සහභාගි විය.

    Latest News