ශ‍්‍රී ලන්කන් ගොඩනගන්න ජනපති සූදානම්

ජන 04, 2019

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගැටලූ නිරාකරණය කර නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමේ යෝජනා සහ අදහස් මෙම කමිටුවට භාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතව මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙන අතර සති දෙකක් තුළ කමිටුව විසින් නිර්දේශ ජනපති වෙත ඉදිරිපත් කළ යුතුවේ. එම නිර්දේශ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ඉදිරි තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විධිමත් ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ය. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පෙන්වා දුන්හ. ආයතනය පසුගිය වසර ගණනාවක් පාඩු ලැබීමට හේතු වූ කරුණු හා දැනට මුහුණ දී තිබෙන අභියෝග සහ වත්මන් ක්‍රියාකාරිත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.


    ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ අවාසිදායක ගිවිසුම් පිළිබඳව අවධානය යොමු කෙරිණ. ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලාපෙයේ මුදල් අවප‍්‍රමාණයට ලක්වීම, තාක්ෂණික හා යටිතල පහසුකම් ඌනතාව වැනි හේතුන්වල බලපෑම් ද අවධානය යොමු කෙරිණි. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද රාජ්‍ය බැංකු සභාපතිවරුන්, ඇතුළු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ආයතනවල ප‍්‍රධානින් සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News