බුවනෙක හෝටලයේ අන්තර්කාලීන වාර්තාව අගමැතිට

ජූලි 22, 2020

    කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද බාරදෙනු ලැබීය.

    ඒ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින්. වාර්තාවෙන් මූලිකව යෝජනා 5ක් ඉදිරිපත් කර තිබේ. ඉන් පළමුවැන්න පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්‍ෂණය කිරීමයි. එමෙන්ම, ගොඩනැගිල්ල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට හා එම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීමට ද මෙමඟින් නියමිතයි. ගොඩනැගිල්ල විනාශයට පත්කළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හා විනාශයට වගකිවයුතු ආයතන හෝ පුද්ගලයන්ගෙන් සංරක්‍ෂණයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ද කමිටුව යෝජනා කර තිබේ.

    ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුව ඇත්තේ පියස්සේ කොටසකට හා ජනෙල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්‍ෂණය කිරීමේ හැකියාවක් ඇතැයි යෝජනාවලියේ සඳහන්. මුළුමණින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්‍ෂිතව තිබේ. එබැවින්, මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මකව වාර්තා කර ඇති නිසා සහ සංරක්‍ෂණ සැලසුම් සකස් කර ඇති බැවින් එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බව එම යෝජනාවලියේ සඳහන්. 

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කමිටුව පත් කෙරිණ. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනෙරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්‍ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම, මහත්මීන් කමිටුව නියෝජනය කරයි.

    මේ අතර, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, මෙම සිද්ධිය පැති කිහිපයකින් විමර්ශනය කොට පූර්ණ වාර්තාවක් ලබාදීමට අදහස් කරන බවයි.

    Last modified on බදාදා, 22 ජූලි 2020 18:17

    Latest News