මහ බැංකු බැඳුම්කර වංචාව ගැන තවදුරටත් විමර්ශන

ජූලි 16, 2020

    පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශනය කරන බව නීතිපතිවරයා අද(16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 12 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසයි.

    නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දැක්වූවාය.

    ශ්‍රි ලංකා මහබැංකුවේ ප්‍රථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කළ පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගම හරහා 2015 වසරේදී මහබැංකු බැඳුම්කර මිලදී ගැනීම සඳහා ස්ටෙලා අයිරංගනී දිසානායක සහ සුනිල් ප්‍රේමරත්න නමැති දෙදෙනා ආයෝජනය කර ඇති මුදල් කල් පිරී ඇත්නම් ආපසු ගෙවීමට නියෝගයක් කරන්නැයි, එම ආයෝජකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියයේය. 

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන්නේ එම මුදල් ගෙවීම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයාට නියෝග කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධත්වයක් නොදක්වන බවයි.

    නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් හා කසුන් පාලිසේන ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    Latest News