දිනක් තුළ කොරෝනා රෝගීන් 300ක්

ජූලි 11, 2020

    කොවිඩ්-19 රෝග වැළඳුණු 300 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය.

    ඒ අනුව, දිනක් තුළ වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ ඊයේ දිනය තුළයි. කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ දිනය තුළ හඳුනා ගැණුනු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 283ක්. එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොවිඩ්-19 රෝගියෙක් සමීපව ඇසුරු කළ තිදෙනෙකුට ද රෝගය වැළඳී ඇති බවට තහවුරු විය. ඉකුත් 08 වැනිදා වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගියා සමීපව ඇසුරු කළ රෝගියෙකුට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ හඳුනා ගැණින. ඉතිරි රෝගීන් 13 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. 09 දෙනෙකු ඉන්දියාවේ සිටත්, තවත් තිදෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටත් පැමිණ තිබේ. අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ පකිස්තානයේ සිට.

    කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පසුගිය 09 වැනිදා කොවිඩ්-19 රෝගීන් 56 දෙනෙකු හඳුනා ගැණින. ඊයේ හඳුනාගත් රෝගීන් 283 දෙනාත් සමඟ අද වනවිට එම මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගොස් තිබේ. රෝගය වැළඳුණු බවට පසුගියදා හඳුනා ගැනුණු කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන මාරවිල ප්‍රදේශයේ උපදේශිකාවගේ පවුලේ සාමාජිකයන් සහ සමීප ආශ්‍රිතයන් 37කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගේ 1980ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය, 80.68ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 463 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 18.86ක්. රෝගයට ගොදුරු වූ නාවික හමුදා සාමාජිකයින් 906 දෙනා අතරින් 895 දෙනෙකුම සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසයි. එම ප්‍රතිශතය 98.78ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 11 දෙනෙකු පමණි ප්‍රතිශතය 1.21ක්.

    මෙරට තුළ අද වනවිට සිදුකර ඇති සමස්ත පීසිආර් පරීක්‍ෂණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 20,730ක්. ඊයේ දිනය තුළ ද පීසීආර් 1749ක් සිදුකර තිබේ. එංගලන්තයේ ලන්ඩන් නුවර රැඳී සිටි පිරිසක් අද උදේ මෙරටට පැමිණියේය. ඊට 236ක් අයත්. සියලු දෙනාම ගුවන් තොටුපොළේදීම පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    Latest News