මහනුවරට ගිය ජනපතිට නාවලපිටියේ දී මහත් හරසර (වීඩියෝ)

ජූලි 11, 2020
  • පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (11) මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට නාවලපිටිය ජනතාව මහත් හරසර දක්වති.

    නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ප්‍රදේශයේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. 

    පොදුජන පෙරමුණ සමග පසුගියදා අත්වැල් බැඳගත් නාවලපිටිය ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු 08 දෙනා සහ පස්භාගේ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනා ජනාධිපතිතුමා හමුවීම ද මෙහිදී සිදු විය. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහාය දක්වන බවට ඔව්හු සහතික වූහ.

    තේ දළු සදහා සාධාරණ මිලක් ලබාගැනීමට සහාය වන්නැයි නාවලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට සංවිධාන කළ ජන හමුවට එක් වූ ජනාධිපතිතුමාගෙන් කර්මාන්තයේ නිරතවූවෝ ඉල්ලා සිටියහ.

    දේශීය ගොවියා රැක ගැනීමට රජය පියවර රැසක් ගෙන තිබේ. ඒ අතර තේ කර්මාන්තය ආරක්‍ෂා කර ගැනීමට ප්‍රමුඛතාව දී ඇතැයි ජනාධිපතිතුමා කියා සිටියේය.

    නාවලිපිටිය ප්‍රදේශවාසීන් මුහුණ පා සිටින ඇතැම් ඉඩම් ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඊට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා මහින්දානන්ද අළුත්ගමගේ මහතාට උපදෙස් දුන්නේය.

    වතු ආශ්‍රිත දරුවන් සඳහා නාවලපිටියට උසස් අධ්‍යාපන ආයතනයක් සහ කාර්මික විද්‍යාලයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා හමුව සංවිධාන කර තිබිණි.

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ගම්පොළ නගරයේ දුම්රිය ස්ථානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. මහා සංඝරත්නය සහ සර්ව ආගමික පූජකවරු ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අතර, රැස්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිතුමාට උණුසුම් ප්‍රතිචාර පළ විය.

    මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස පවත්වන ලෙස සිසුවියන් පිරිසක් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යවරයාට යොමු කරන බව ජනාධිපතිතුමා පැවසීය. ආදම් පාරිස් මහතා උඩුනුවර දවුලගල, අලපලාවිල ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට එක් වූ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 11 ජූලි 2020 20:17

    Latest News