ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනරැළි කිහිපයක (වීඩියෝ)

ජූලි 04, 2020
  • හිටපු අමාත්‍ය, තිස්ස කරල්ලියද්ද මහතා කැබිතිගොල්ලෑව නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක්විය.

    කොන්ත්‍රාත් ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් සංවර්ධන ක්‍රියාදාමය ප්‍රමාද වී ඇතැයි, ගම්වාසීන් සඳහන් කළේය. කෝමාරිකා, වී සහ බඩඉරිඟු වගාවන් තම ප්‍රදේශයේ සාර්ථකව සිදුවන බව ඔවුන් සඳහන් කළේය. වකුගඩු රෝග ව්‍යාප්තියට ගෙන ඇති පියවර සහ ගොවි ජනතාව මුහුණ පා සිටින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුව කෙරෙහි ද ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමුවිය.

    අලි-මිනිස් ගැටුම සහ ගොවි ණය සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

    එච්.නන්දසේන මහතා, මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ සංවිධාන කළ ජනහමුවට සහභාගි වූ ජනාධිපතිතුමාට ජනතාව මේ බව පෙන්වා දුන්නේය. වන අලි තර්ජනය හේතුවෙන් වගාවන්ට වූ හානි පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

    අනුරාධපුර, බස්නාහිර තොලුවිල පුරාවිද්‍යා රක්‍ෂිතය අසළ ජනහමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊයේ එක්විය. සරත් කුමාරසිරි මහතා එම ජනහමුව සංවිධාන කළේය.

    මහාචාර්ය චන්න ජයසුමන මහතා නැගෙනහිර අනුරාධපුර බැංකු හන්දිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එක්විය.

    උද්දික ප්‍රේමරත්න මහතා අනුරාධපුර කඩ 50 අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කූඹිච්චන්කුලම වැව අසළ සංවිධානය කර තිබූ ජනහමුවට සහභාගි වූ ජනාධිපතිතුමා, රටේ කෘෂි ආර්ථිකය නඟා සිටුවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් ලැබෙන දායකත්වය ඉතා ප්‍රශංසනීය බව එහිදී කියා සිටියේය. මෙම ජනහමු සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න සහ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ද එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 19:52

    Latest News