කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1863ක්.

ජූලි 04, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය 90.04 දක්වා ඉහළ ගොස් තිබේ.

    පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 1863ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් තිදෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් දෙදෙනෙකු මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්. අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ මාලදිවයිනේ සිටයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු නාවික හමුදා සාමාජිකයන් අතරින් 879 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී. එහි ප්‍රතිශතය 97.23ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 25 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 2.76ක්.

    රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 1863 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.ප්‍රතිශතය 90.04ක්. තවදුරටත් 195 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එම ප්‍රතිශතය 9.42ක්.

    ජින්තුපිටිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ප්‍රදේශයේ 154 දෙනෙකුට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කෙරිණ. තවත් 15 දෙනෙකු පමණ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තාවේ.

    එම පුද්ගලයා නිරෝධායන ක්‍රියාවලියෙන් හඳුනා ගැනුණු රෝගියෙකු බැවින් සමාජය තුළ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. කෙසේ වෙතත්, ජින්තුපිටිය ප්‍රදේශයේ ජනජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි බව අප වාර්තාකරු පවසයි.

    මේ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ ග්‍රහලෝකාගාර දර්ශන ලබන 07 වැනිදා සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ කේ.අරුණ ප්‍රභා පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සීමිත නරඹන්නන් පිරිසක් පමණක් සහභාගි කරගෙන දර්ශන පැවැත්වීමට නියමිතයි.

    මෙරටට පැමිණිමට නොහැකිව, ජපානයේ සහ කටාර්හි රැඳී සිටි පිරිසක් දිවයිනට පැමිණියේය. ජපානයේ සිට පැමිණි පිරිසට 261 දෙනෙකු අයත්. කටාර් සිට පැමිණි පිරිස 15ක්. සියලු දෙනාම ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමු කර තිබේ.

    එළඹෙන පාසල් වාරය මුල්කර ගනිමින් ළමුන් ප්‍රවාහනය කෙරෙන වාහන විෂබීජානුහරණය කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද ක්‍රියාත්මක කෙරිණ. ඒ දෙල්ගොඩ පොදු ක්‍රීඩාංගණයේදී. කැළණිය පොලිස් කොට්ඨාසයේ වසම් 6කට අයත්, වාහන 130ක් විෂබීජානුහරණයට යොමු කෙරිණ. එය සිදු කරන්නේ පොලිසියේ මෙහෙයවීමෙන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    Latest News