ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.
සිදුහන් බෝසතාණන්, මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරෝත්පත්තිය හා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම අද වැනි දිනක සිදුවූ බව, ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානය බිඳහෙලීම, යමාමහ පෙළහැර පෑම සහ මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන් උදෙසා අභිධර්මය දේශනා කිරීම සිදු වූයේ ද ඇසළ පොහෝ දිනකයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහනුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇසළ පොහොය හා බැඳුණු තවත් සිදුවීමක්.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව “සද්ධර්ම වර්ෂා“ ඇසළ පොහොය ආගමික වැඩසටහන් අද දවස පුරා විකාශය කරනුයේ බෙල්ලන්විල, රාජමහා විහාරස්ථානයේ සිටයි. බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා, ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුලත්. ආගමික වතාවත් සිදු කළේ, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය බොරලැස්ගමුවේ පේමරතන හිමියන්. “ධම්ම සාරතී“ ධර්ම සාකච්ජාව සඳහා වැඩමවූයේ පූජ්‍ය, මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා සමාජයීය සම්බන්ධතාව වර්ධනය කිරීමේ අරමුණින් සෑම පොහොය දිනකම විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. මේ බව ප්‍රකාශ කෙරුණේ, කොළඹ, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මාධ්‍ය හමුවට ඉන්දීය තානාපති කාර්යාලයේ පළමු ලේකම් නේහා සිං සහ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ආචාර්ය, රේවන්ත් වික්‍රම් සිං යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.
ඇසළ පොහොය නිමිත්තෙන් සංවිධාන කළ ඒකාබද්ධ බෞද්ධ සමුළුවක් ඊයේ පැවැත්විණ. ඒ, අන්තර්ජාලය උපයෝගි කර ගනිමින්. “ලොව යහපැවැත්ම උදෙසා බුදු දහම“ එහි තේමාවයි. සමුළුවට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශාස්ත්රඥයින් රැසක් එක්වූහ.