ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්

ජූනි 25, 2020

    වසර 2018 සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමේ ලාභ පෙන්වීමට එහි සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) වසරක කාලයක් ලබාදුන්නේ ය.

    තෙවසරක් ඇතුළත සිදු වූ පාඩුවට හේතු සොයා එහි ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ලුණු ආනයනය කිරීම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවත් 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බවත් ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්ත්වය විමසා බැලීමට ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවේදී හෙතෙම අවධාරණය කළේය.

    පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බව ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය.

    ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි. 2017 වසර වන විට ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය. 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලැබීය.

    1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමැතිවරයා ලෙස මැදිහත්වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබීය. පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන් ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

    ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නැයි පැවසීය.

    ජනාධිපති ලේකම්, ආචාර්ය පි.බී. ජයසුන්දර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 11:53

    Latest News