උසස් වීම් ඉල්ලා පොලිස් සැරයන්වරු 366 ක ගෙන් පෙත්සමක්

ජූනි 23, 2020

    වසර තිහක් සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස් සැරයන් වරු 366 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    පෙත්සම්කරුවන් සදහන් කරන්නේ මේ වනවිට වසර 30 සේවා කාලය සපුරා සිටින තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පූද්ගලයන් බවයි.

    2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදාට වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර තිබුණද තමන්ට එම උසස් වීම් නොලැබුණු බව පෙත්සම්කරුවන් සදහන් කළා.

    ඊට එරෙහිව තමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළ ද එම අභියාචනා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් පවසනවා.

    මෙම තත්ත්වය හමුවේ තමන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන තමන්ව උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News