ශ්‍රී ලංකාවේ ආයෝජනයට යුරෝපීයන් සූදානමින් (විඩියෝ)

දෙසැ 30, 2018
  • සති 9ක කාලයක් රටේ පැවති දේශපාලන නොසන්සුන්තාව සාමකාමීව විසඳා ගැනීම විදේශ ආයෝජන සඳහා සෘජුවම බලපාන බව, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩල සභාපති ජයම්පති පෙරේරා පවසයි.

    රටේ පැවති දේශපාලන නොසන්සුන්තාව ප්‍රජාතන්ත්‍රවාදීව අධිකරණය මගින් විසඳා ගැනීමට හැකිවීම සෑම අතින්ම සතුටට කරුණක් බව ද ඔහු අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථාව සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජයම්පති පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

    එංගලන්තය හා යුරෝපා රටවලින් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ආයෝජකයින් විශාල උනන්දුවක් දක්වන බව, ඔහු අවධාරණය කළේය. ඒ සඳහා රට තුළ විධිමත් දේශපාලන පරිසරයක් ගොඩ නැගිය යුතු බවයි, ඔහු කියා සිටියේ.

    පසුගිය කාලය තුළ පැවති දේශපාලන නොසන්සුන්තාව සාමකාමීව විසඳා ගැනීම මගින් ශ්‍රී ලංකාවට යුරෝපා රටවලින් හොඳ ප්‍රතිචාරයක් ඇති බව ඔහු පවසයි. උසස් අධ්‍යාපන, සංචාරක, සහ ඉදිකිරීම් යන අංශවල ආයෝජන කිරීමට එංගලන්තය ප්‍රමුඛ යුරෝපා රටවල් දැඩි උනන්දුවකින් පසුවේ. ඒ අනුව විදේශීය ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සහ සෘජු ආයෝජන අවස්ථාවන් රජය විසින් සැලසිය යුතු බවද ඔහු පැවසීය.

    මෙගා පොලිස් අමාත්‍යාංශය පසුගිය කාලය තුළ එංගලන්ත ආයෝජකයින් දිරිමත් කිරිමට ගෙන ගිය වැඩපිළිවෙළ ද ඔහුගේ ඇගයීමට ලක්විය. දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන මුදලේ අගය අවප්‍රමාණය වීම එක් රටකට සීමාවූවක් නොවන බවයි, ඔහු කියා සිටියේ.

    මෙම මුල්‍ය අර්බුදය එංගලන්තය වැනි ප්‍රබල රටවල්වලට ද බලපා තිබේ. ඒ අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්තිමත් කිරීමට විදේශ ආයෝජන දිරිමත් කිරිම එක් විසඳුමක් වන බව ද ඔහු පෙන්වා දුනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් මහා පරිමාණ අන්දමින් ණය ලබාගැනිම ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් ඇති කරන්නක් බව ද ඔහු කියා සිටියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on ඉරිදා, 30 දෙසැම්බර් 2018 19:25

    Latest News