බඹරබොටුව ඓතිහාසික බෙලිගල්ලෙන නිදන් සොරුන්ගේ ග්‍රහණයට

ජූනි 17, 2020

    රත්නපුර බඹරබොටුව ඓතිහාසික-බෙලිගල්ලෙන පුරාවිද්‍යා රක්‍ෂිතය නිදන් සොරුන්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ග්‍රහණයට හසුව ඇතැයි අප වාර්තාකරු පවසයි.

    බෙලිගල්ලෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඝවේෂණයට ලක්වූ ලෙන ලෙස සැලකේ. ඒ, 1908 දී සහ 1910 දී සුදු ජාතික ඝවේෂකයන් වූ පාසර්න් සහ හාට්ලි යන ඝවේෂකයන් සිදු කළ කැණිම්වලදී. එහිදී ඇටසැකිළි කොටස් සහ තිරිවානා පාෂානවලින් සකස් කරන ලද ගල් ආයුධ සොයා ගැණින. අනතුරුව, 1960 දී හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයෙකු වූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙම පරිශ්‍රයේ කළ කැණිම්වලදී කුඩා ප්‍රමාණයේ ගල් ආයුධ දෙකක් සොයා ගැණින. මේ වනවිටත් ලෙන තුළ අළු තට්ටුවක් හා බෙලි කටු දක්නට ලැබේ.

    ලෙනෙහි මුහුණත අඩි 70ක් වන අතර, උස අඩි 30ක් පමණ වේ. ගුහාවේ දිග අඩි 75කට ආසන්නයි. මෙහි එකවර මිනිසුන් 300කට පමණ නවාතැන් ගත හැකි පරිදි ඉඩ පහසුකම් පවතී. ලෙන වෙත යාමට බදුලු ඔය තරණය කළ යුතුය. ලෙන ඉදිරිපිටින් කුඩා දිය ඇල්ලක් ද, දකුණු පසින් බදුලු ඇල්ල ද ගලා බසී. ඇඳිරිනීතිය පැවති කාලයේ මෙම ගල්ලෙන නීති විරෝධි ක්‍රියා සඳහා යොදා ගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. ඓතිහාසික බෙලිගල්ලෙන නිසි පරිදි සංරක්‍ෂණය කොට සුරක්‍ෂිත කරන ලෙස ඔවුන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News