ආගමික එක්රැස්වීම් සහ උපකාරක පන්ති සඳහා නව සෞඛ්‍ය සීමා

ජූනි 10, 2020

    ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම් සඳහා ලබන 12 වැනිදා සිට අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    සීමාවන්ට යටත්ව උපකාරක පන්ති ද ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ. සෞඛ්‍ය ආරක්‍ෂිතව, පුද්ගල දුරස්ථභාවය ආරක්‍ෂා කර ගනිමින් ඕනෑම ආගමික ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50කට සීමා කෙරිණ. එම පූජ්‍ය ස්ථානයට අයත් ගොඩනැගිලි හා එළිමහන් ස්ථාන ද ඇතුලත්ව, එම ගණනය කිරීම සිදුකර තිබේ. සමාජ දුරස්ථභාවය ආරක්‍ෂා කර ගනිමින් පුද්ගලයන් 50 දෙනෙකුට හෝ රැඳී සිටීමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටිය හැක.

    උපකාරක පන්තිය පවත්වනු ලබන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව, සමාජ දුරස්ථභාවය ආරක්‍ෂා කර ගනිමින් උපකාරක පන්තියක් සඳහා සහභාගි කරගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව සියයකට සීමාවේ. නමුත්, සිසුන් සිය දෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ හෝ ශාලාව තුල ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගි වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකට පමණක් සහභාගි කරවා ගැනීමට අවසර ලබාදී තිබේ.

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අදාළ සියලු පාර්ශ්වයන් පූර්ණ වශයෙන් පිළිපැදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Last modified on බදාදා, 10 ජූනි 2020 19:58

    Latest News