පොලිසියේ ප්‍රකාශයක් ගැන පාස්කු කොමිසමේදී හෙළිවේ

ජූනි 06, 2020

    දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්‍ෂාව සැපයීම සම්බන්ධයෙන් 2019 වසරේ පාස්කු ඉරිදා දේව මෙහෙයට පෙර සාකච්ජාවක් පැවැත්වූ බවට එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බව, පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසන් සභාවේ දී අද අනාවරණය විය.

    ඒ, එම දේවස්ථානයේ මීසම් පාලක දයා වැලිකඩආරච්චි පියතුමන් අද දින සාක්‍ෂි ලබාදුන් අවස්ථාවේදී.

    පියතුමා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, තමන් පසුගිය වසරේ අප්‍රේල් 14 වැනිදා සිට පාස්කු ඉරුදින දක්වා දේවස්ථානයට ආරක්‍ෂාව ඉල්ලා ලිපියක් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කළ බවයි. අදාළ සතිය තුළ දේව මෙහෙය පැවැත්වෙන වේලාවන් එම ලිපියේ ඇතුළත්ව තිබූ බව ද පියතුමා ප්‍රකාශ කළේය. කොමිසම එහිදී විමසා සිටියේ, දේවස්ථානය තුළ පොලිස් මුරපොළක් ස්ථාපනය කලේ ද යන්නයි. එවැනි පොලිස් මුර පොළක් ඉදි නොකළ බවත්, පල්ලියේ දහම් පාසල පැවැත්වූ ගොඩනැගිල්ලේ කාමරය පොලිස් නිලධාරීන් විටින් විට රැඳී සිට ඇති බවත් පියතුමා ප්‍රකාශ කලේය. ප්‍රහාරය සිදුවූ දින තම දේවස්ථානයේ පැවති දේව මෙහෙයට තමන් ද එක්ව සිටි අතර, දායක සභාවේ සාමාජිකයෙකුගේ දුරකතනයට ලැබී තිබූ දර්ශනවලින් ප්‍රහාරයක් සිදුවී ඇති බව, තමා ද දැනුවත් වුණේ යැයි උන්වහන්සේ කියා සිටියහ.

    දේවස්ථානයේ එදින පෙරවරු 10.15ට පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙයට බොහෝ පිරිසක් පැමිණ සිටි බව පියතුමා පැවසුවේය. දේව මෙහෙය ආරම්භයට පෙර එම පිරිස සහ පරිශ්‍රය විශේෂ පරීක්‍ෂාවකට ලක්කර ගේට්ටු සහ සියලු දොරවල් වසා දමා දේව මෙහෙය ඉතා ඉක්මණින් අවසන් කළ බව, උන්වහන්සේ කොමිසම හමුවේ සඳහන් කළේය. කෙසේ වෙතත්, ඊට පෙර පැවති දේව මෙහෙයට සහභාගි වූ බැතිමතුන් එවැනි පරීක්‍ෂාවකට ලක් නොකළ බව පියතුමා කියා සිටියේය.

    පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර සාකච්ජාවක් පවත්වා ඇති බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරි මුදුත පුස්සැල්ල මහතාගේ ප්‍රකාශයක් තමා ජාතික පුවත්පතකින් දුටු බව උන්වහන්සේ ප්‍රකාශ කළේය. එය සම්පූර්ණ අසත්‍යයක් බව පැවසූ පියතුමා, එම ප්‍රකාශය අනුව තමන් ප්‍රහාරය පිළිබඳ කලින් දැනුවත්ව සිටි බවට ප්‍රදේශවාසීන් තුළ පවතින සැකය නිසා තමා දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් කළ උන් වහන්සේ කියා සිටියේ, පසුගිය වසරේ නත්තල් උත්සවයට ආරක්‍ෂාව සැපයීම සම්බන්ධයෙන් එවැනි සාකච්ජාවක් පැවති බවයි. එහිදී දායක සභාවේ කාන්තාවක්, පාස්කු ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් නත්තල් දා සිදුවිය හැකි ද යනුවෙන් මුදිත පුස්සැල්ල මහතාගෙන් විමසූ බව පියතුමා කියා සිටියහ. කොමිසම එහිදී විමසා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් මොරටුව හා රාවතාවත්ත දේවස්ථානවල පියතුමන් යම්තාක් දුරකට මුදිත පුස්සැල්ල මහතා විසින් දැනුවත් කරනු ලැබූ බව දන්නවාද යන්නයි.

    පියතුමා එහිදී ප්‍රකාශ කලේ, අදාළ දේවස්ථාවල පියතුමන් තමා ඉතා හොඳින් දන්නා අය වන අතර, එවැනි දෙයක් ඔවුන් තමන්ට පවසා නොමැති බවයි. එවැනි තොරතුරක් ලැබී තිබුණේ නම් කාදිනල් හිමිපාණන් දැනුවත් කොට සියලු දේව මෙහෙය අත්හිටුවීමට ක්‍රියා කරන බව දයා වැලිකඩආරච්චි පියතුමා ප්‍රකාශ කළේය.

    Latest News