සාලාවේ යුද හමුදා අවි ගබඩාව පිපිරී ගොස් ඊයේට වසර 04ක් (වීඩියෝ)

ජූනි 06, 2020
  • කොස්ගම, සාලාවේ පිහිටි යුද හමුදා අවි ගබඩාව අබිරහස් අන්දමින් පිපිරී ගොස් ඊයේට වසර 04ක්.

    පිපිරීම් ආරම්භ වූයේ, 2016 ජුනි 05 වැනිදා සවස 4.30ට පමණ. මෙම පිපිරීම හේතුවෙන් කඳවුරු සංකීර්ණයේ පිහිටි සාලාව මංසන්ධිය, මුරුතගම, රණවිරුගම ඇතුළු ගම්මාන කිහිපයක නිවාස ඇතුළු දේපල රැසකට බරපතල හානි සිදුවිය. ඇතැම් පවුල් පිපිරීමත් සමඟ ඇඳිවත පමණක් රැගෙන ප්‍රදේශයෙන් ඉවත් වූ අතර, නැවත පැමිණි විට දැකගත හැකිවූයේ, සුන්බුන් ගොඩක් බවට පත්වූ නිවාස හා ගෘහ භාණ්ඩ පමණි. පැවති රජයේ දේශපාලනඥයන් සහ බලධාරීන් හානියට පත් නිවාස වෙත පැමිණ එම පවුල්වලට විවිධ පොරොන්දු ලබා දුන්න ද තවමත් නොවිසඳුණු ගැටලු රැසක් පවතින බව ජනතාව පවසයි. පිපිරීම්වලින් ඇතිවූ කම්පනය හා බෝම්බ කොටස් වැදීමෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූ පිරිසකට සුදුසු පරිදි ප්‍රමාණවත් වන්දි ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

    එම කාලසීමාව තුළදී විවිධ ආයතන එක්ව හානි වූ නිවාස අලුත්වැඩියා කරදීමට ක්‍රියා කළේය. ඒ අතරින් ඇතැම් නිවාස මේ වනවිට පදිංචියට නුසුදුසු තත්වයට පත්ව ඇති බව ජනතාව පවසයි.

    නිසි තක්සේරු ක්‍රමවේදයකින් තොරව සුළු පිරිසකට ප්‍රමාණය ඉක්මවා වන්දි පිරිනමා ඇති අතර, බහුතරයකට ගෙවා ඇත්තේ, සුළු වන්දි මුදලක්. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මීට අදාළ ලිපිගොනු දැන් වසා දමා ඇත්තේ, එම ප්‍රශ්න විසඳී අවසන්ව ඇති බව පවසමින්. එහෙත්, ඇතැම් පවුල්වල ගැටලු සහගත තැන් තවමත් එලෙසම ඇති බව, සාලාව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කිසිදු ස්ථානයක් හෝ ආයතනයක් නොමැතිවීම බරපතල ගැටලුවක් බව ඔවුන් චෝදනා කරයි.

    Last modified on සෙනසුරාදා, 06 ජූනි 2020 19:42

    Latest News