අගමැතිතුමාගේ ලෝක පරිසර දින පණිවිඩය

ජූනි 04, 2020

    හෙටට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ.

    අගමැතිතුමාගේ ලෝක පරිසර දින පණිවිඩය...

    “1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ‘‘ජගත් පරිසර දිනය” වශයෙන් නම් කරන ලදී.

    ඒ අනුව 1974 ජුනි මස 05 වන දින ප්‍රථම පරිසර දිනය සමරනු ලැබීය. මේ වසරේ යෙදී ඇත්තේ එහි 47 වැනි සංවත්සරයයි. ඒ අනුව සෑම වසරකම ජුනි 05 වන දින විවිධ කාලීන මාතෘකා පෙරදැරිව ප්‍රකාශයට පත්කරන ලද තේමාවන් යටතේ ලොව සියලු රටවල් ජගත් පරිසර දිනය සමරනු ලබයි. 2020 වර්ෂයේ එහි තේමාව වනුයේ, ‘‘සොබාදහම සඳහා කාලය” යන්නයි.

    මහජනතාව සඳහා ගෝලීය වේදිකාවක් බවට පත්ව ඇති ‘‘පරිසර දිනය” එක්සත් ජාතීන්ගේ ලෝක ව්‍යප්ත දැනුවත්භාවය සහ පරිසරය සඳහා ක්‍රියා කිරීම දිරිගැන්වීමේ ප්‍රධාන වාහකයයි. තිරසාර සංවර්ධන ඉලක්කවල පාරිසරික මානයන්හි ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් වේදිකාවක් ලෙසින් සමරනු ලබන ලෝක පරිසර දිනය මෙවර වෙනස් මුහුණුවරක් යටතේ සැමරීමට සිදුව ඇත්තේ කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙනි.

    මිනිසාගේ ජීවනාලිය බඳු පරිසරය අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් යම්තාක් දුරකට විනාශය කරා ගමන් කර තිබේ. පෙර වසරවලට වඩා මෙවර පරිසර දිනය තුළින් ඒ පිළිබඳව මුළු ලෝකයේම වැඩි අවධානයක් යොමුව ඇත. ඒ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ ලොවක් ලෙස මුහුණ දීමට සිදුව ඇති ව්ය සනකාරී තත්ත්වය හමුවේය.

    2020 යනු සොබාදහම මුහුණ දී සිටින අර්බුදයට විසඳුම් සෙවීමේ හදිසි, අභිලාෂයන් සහ ක්‍රියාමාර්ග සඳහා මුහුණ දුන් වසරකි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සමුද්‍රය දූෂණය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, වනජීවී අපරාධ, ස්වාභාවික විපත්, වායු දූෂණය, කාලගුණික විපර්යාස, වනහරණය යනාදී පාරිසරික ගැටළු රැසකට වර්තමානයේ ලොවක් වශයෙන් අප මුහුණ දී ඇත්තෙමු. එයින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේද මිනිසාටමය. මේ හේතුවෙන් බිලියන 07ක් පමණ වූ ලෝක ජනතාවගේ සුවපහසු පරිසරයක ජීවත්වීමේ නිදහස ද අහිමිව යනු ඇත.

    සොබා දහමට පැමිණෙන හානිවල බලපෑමෙන් මිදෙන්නට කිසිඳු කෙනෙකුට හැකියාවක් නැති බව වර්තමානයේ පසක් වී හමාරය. දැන් එළැඹ ඇත්තේ ඒ බරපතළ වරද නිවැරදි කර ගැනීමේ කාලයයි. ලොව සෑම පුරවැසියකු වෙතම පැවරී ඇති පරිසරයේ තිරසර පැවැත්ම තහවුරු කිරීමේ වගකීම හඳුනාගැනීම මත මිනිසාගේ අනාගත පැවැත්ම තීන්දු වනු ඇත. ලොවක් මෙන්ම රටක් වශයෙන් පාරිසරික අභියෝගයන් ජයගනිමින් පරිසරය ආරක්ෂා කර ගැනීමට අප සියලු දෙනා අත්වැල් බැද ගනිමු! ” යැයි අග්‍රාමාත්‍යවරයා සිය පිරිසර දිනය පණිවිඩයෙන් කියා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූනි 2020 17:14

    Latest News