සේනා මර්දනයට විද්වතුන්ටත් ආරාධනයක්

දෙසැ 28, 2018

    සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හා මර්දනයට කඩිනම් පියවර ගැනීම සඳහා විද්වතුන් ඇතුළු සියලු අංශවල සහාය ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    බඩඉරිගු වගාවට බරපතල තර්ජනයක් එල්ල කරමින් සේනා දළඹුවා දිවයිනේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. ප්‍රථමයෙන්ම නයිජීරියාවෙන් වාර්තා වූ සේනා හෙවත් (Fall Army Worm) ලෙස හඳුන්වන මෙම දළඹු විශේෂය පසුගිය වසරේදී ඉන්දියාවෙන් වාර්තා වු අතර මේ වනවිට ශ්‍රි ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් බඩඉරිගු වගාව තුළ ව්‍යාප්ත වෙමින් වගාවට බරපතල තර්ජනයක් එල්ල කරමින් සිටිති. දැනටමත් අම්පාර ප්‍රදේශයේ අක්කර 35,000ක පමණ වන බඩඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයෙන් හානියට පත්ව තිබේ.

    අනුරාධපුරය, පොලොන්නරුව හා කුරුණෑගල මෙන්ම මොනරාගල වැනි බඩඉරිගු බහුලව වගා කරන ප්‍රදේශවල සේනා දළඹුවා ව්‍යාප්තව ඇති බවට තොරතුරු වාර්තාවේ.

    සේනා දළඹුවා යනු අධික කුසගින්නකින් පෙළෙන සත්ව විශේෂයක් වන අතර සේනාවක් වශයෙන් වගාවන් විනාශ කරන හෙයින් මෙම සත්වයා “සේනා දළඹුවා” ලෙස හඳුන්වයි. අක්කර 1000ක වගාවක් වුවද එක දවසකින් විනාශ කළ හැකි මෙම දළඹුවා සලබ අවස්ථාවේදී දිනකට කිලෝමීටර් 100ක දුරක් පියාඹා යා හැකි අතර එක්වර බිත්තර 200ක් පමණ දමයි. එමෙන්ම කෘමිනාශකවලට ඉක්මනින්ම අනුවර්තනය වීමේ හැකියාවක්ද පවතින නිසා මෙම සතුන් මර්දනය කිරීම ඔවුන් වාර්තා වු සෑම රටකටම අභියෝගයක් විය.

    කෙසේ වුවද සේනා දළඹු වසංගතයට මුහුණ දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කාර්ය සාධක බලකායක් පත් නිර්මාණය කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දළඹු මර්දනය සඳහා කෘමිනාශක වර්ග 04ක් නිර්දේශ කර ඇත. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කෘමිනාශක සඳහා සියයට 50ක සහනාධාරයක්ද ලබා දීමට පියවර ගෙන තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් සේනා දළඹු මර්දනය සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඊයේ (27) කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්රට මහතාට උපදෙස් දෙනු ලැබීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්, පරිසරවේදීන් මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම විද්වතුන්ගේ අදහස් හා යෝජනා පරිදි කටයුතු කරන ලෙසත්, ප්‍රායෝගිකව යොදා ගත හැකි සියලු විසඳුම් අනුගමනය කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    එමෙන්ම දැනට සේනා දළඹුවා වාර්තාවන ප්‍රදේශවලට පරිබාහිරව සේවය කරන සියලුම කෘෂිකර්ම නිලධාරින් දළඹු වසංගතය පවතින ප්‍රදේශවලට යොමු කර ඔවුන්ගේ සහාය ගොවිමහතුන් වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    එසේම ලබන ඉරිදා (30) අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේනා දළඹු විශේෂය වාර්තාවන ගොවිබිම් නිරීක්ෂණය කිරීම සඳහා යාමට නියමිත අතර එම අවස්ථාවට අදාල නිලධාරින්ට සහභාගි වන ලෙස ද උපදෙස් දී තිබේ. සේනා දළඹුවා බඩඉරිගු වගාවට පමණක් නොව, වී, උක් හා එළවලු ආදි බෝගවර්ග 100කට අධික ප්‍රමාණයකට හානි කළ හැකි. මේ දිනවල අපේ රටේ වී වගාව බහුල වශයෙන් සිදු කරන බැවින් වී වගාවට බරපතල තර්ජනයක් එල්ල විය හැකි තත්ත්වයක් පවතී.

     

     

    Last modified on සිකුරාදා, 28 දෙසැම්බර් 2018 18:21

    Latest News