හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරිපත් කළ පෙත්සම කල්යයි

මැයි 26, 2020

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දී තමන්ව යලි සේවයෙහි පිහිටුවන ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

    මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබුවා.

    එහිදී විනිසුරුවරු නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වන දා කැඳවන බවයි.

    පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  - 19 වන සංශෝධනයට අනුව තමන්ව පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයක් නොමැති බවයි.

    ඒ අනුව එවක ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේය.

    ඒ තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පූජිත් ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.

    Latest News