පාස්කු ප්‍රහාරය ගැන හෝටල් ආරක්‍ෂක අංශයෙන් අනාවරණයක් (වීඩියෝ)

මැයි 24, 2020
  • පාස්කු ඉරිදා දෙහිවල “ට්‍රොපිකල් ඉන්“ ලැඟුම්හලේ බෝම්බය පුපුරුවා ගත් මරාගෙන-මැරෙන බෝම්බකරු ඊට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලයේ රැඳී සිටි බවත්, ඔහුගේ නම ඇතුලත් නාමලේඛනය රාජ්‍ය බුද්ධි අංශයට සහ ජනාධිපති ආරක්‍ෂක අංශයට යොමු කළ බවත් එම හෝටලයේ ආරක්‍ෂක කළමනාකරු ඊයේ අනාවරණය කළේය.

    හෝටලයේ නවාතැන් ගෙන සිටින පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව අදාළ අංශ වෙත දෛනිකව යොමු කරන බව, පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් හෝටලයේ ආරක්‍ෂක කළමනාකරු ප්‍රකාශ කළේය.

    2019 අප්‍රේල් 20 වැනි දින “වෝකිං ගෙස්ට්“ කෙනෙකු ලෙස ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණි බෝම්බකරු හෝටලයේ 365 දරණ කාමරය වෙන් කරවා ගත් බවත්, රැගෙන ආ ගමන් මල්ල එහි තබා යළිත් ටික වේලාවකට පසු හෝටලයෙන් පිටව ගිය බවත්, ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්‍ෂක කළමනාකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. බෝම්බකරු ටාජ් සමුද්‍රා හෝටලයේ සිට “ට්‍රොපිකල් ඉන්“ ලැඟුම්හල දක්වා ගමන් ගත් ත්‍රීරෝද රථ තුනෙහි රියදුරන් ද ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන්නේය. ටාජ් සමුද්‍රා හෝටලය අසලින් බෝම්බකරු නංවාගත් ත්‍රිරෝද රථ හිමියා ප්‍රකාශ කළේ, බෝම්බකරු විදේශීය ජාතිකයෙකු ලෙස තමාට හැඟී ගිය බවයි.

    කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලය අසල ගාලු පාරේ සිට බෝම්බකරු දෙහිවල ප්‍රදේශයට යාමට ගොඩ වූ නමුත් වැල්ලවත්ත ප්‍රදේශයේදී හදිසියේම ත්‍රිරෝද රථය නවත්වා ඉන් බැස ගිය බව ත්‍රී රෝද රථයේ රියදුරු කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන්නේය. ඉන් අනතුරුව පෙරවරු 9.25ට පමණ තම ත්‍රීරෝද රථයට බෝම්බකරු ගොඩ වී දෙහිවල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව ප්‍රකාශ කළ බව දෙවන ත්‍රීරෝද රථයේ රියදුරු කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් කියා සිටියේය. ගමන ආරම්භ වී විනාඩි කිහිපයකට පසු බෝම්බකරු දෙහිවල සත්වෝද්‍යාන පාරේ ලැගුම්හලක් වෙත රැගෙන යන ලෙස ප්‍රකාශ කළ බවත්, ඒ අනුව “ට්‍රොපිකල් ඉන්“ ලැඟුම්හල වෙත තමා ඔහුව රැගෙන ගිය බවත් ත්‍රීරෝද රථ රියදුරු ප්‍රකාශ කළේය. එදින ඉරිදා නිවාඩු දිනයක් නිසා දෙහිවල සත්වෝද්‍යානයේ ජනතාව වැඩි ප්‍රමාණයක් ගැවසෙන බවත්, බෝම්බකරු සත්වෝද්‍යානය පිළිබඳ අවධානයෙන් පසු වූ බවත්, එහිදී කොමිසම හමුවේ අනාවරණය විය.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 20:03

    Latest News