විදේශ නාවික ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව ජනපති අවධානයට

මැයි 19, 2020

    කොවිඩ් 19 වසංගතයත් සමඟ ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

    දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුල්වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩ කඩ ද විමර්ශනය කෙරේ.

    මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක නියෝජිතයන් සමග අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

    ගාල්ල වරායට නාවික සැතපුම් 10ක් ඈතින් මුහුදු තීරයේ වෙළෙද නැව් 300කට අධික සංඛ්‍යාවක් දිනපතා යාත්‍රා කරන බව සමාගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.

    එම නැව්වල සේවයේ නිරත සෙසු රටවල කාර්ය මණ්ඩලවලට ද ශ්‍රී ලංකාවේ සිට සිය රටවලට ගමන් කිරීමට පහසුකම් සැලසීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනයට ද මෙය ඉවහල් කරගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

    ගාල්ල වරාය “ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක්” (Global crew exchange hub) ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව ද සාකච්ඡාවට ලක් විය.

    සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීමේ හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ලෝක නාවික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය ලක්ෂ 16කි.

    ශ්‍රි ලාංකිකයන් 16,000ක් දෙනාද ඊට අයත් වෙති. ඔවුන්ගේ සංඛ්‍යාව මුළු පිරිසෙන් 1% කි.

    ඔව්හු වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 300ක් රටට උපයා දෙති.

    මේ පිරිස දෙගුණයකින් වැඩි කිරීමෙන් විදේශ විනිමය ආදායම ද දෙගුණ කළ හැකි බව ජනාධිපතිතුමා කීය.

    ගුණාත්මක අගයෙන් ඉහළ සේවාවක් සැපයීමේ හැකියාව පිළිබඳ විශ්වාසය ලෝක නාවික සමාගම් හමුවේ තහවුරු කිරීමෙන් ශ්‍රී ලාංකිකයනට විදේශ නෞකාවල රැකියා අවස්ථා දිගුකාලීනව වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු සහ මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News