ගමනාන්ත කිහිපයකට විදෙස් තැපෑල අද සිට

මැයි 16, 2020

    තෝරාගත් ගුවන් සහ මුහුදු ගමනාන්තවලට විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ යැවීමට තැපැල් දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.

    විදෙස්ගතව සිටින හිතුමිතුරන්ට අවශ්‍ය ලිපි සහ භාණ්ඩ යොමුකිරීමට නොහැකිව ශ්‍රී ලංකාවේ වෙසෙන දෙස් විදෙස් පාර්භෝගිකයන් අපහසුතාවයට පත්වී ඇති අවස්ථාවක යම් සහනදායී විසදුමක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ අද සිට ආරම්භ කිරීමට තැපැල් දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

    ඒ අනුව හොං කොං සහ මෙල්බන් සඳහා මැයි මස 20 සහ 27, බීජිං සඳහා මැයි මස 20 සහ 23, එක්සත් රාජධානියේ හීත්‍රෝ සඳහා මැයි මස 19 සහ 26, ජපානය සඳහා මැයි මස 20 සහ 30, සිංගප්පූරුව සඳහා මැයි 23 සහ 30, කටාර් සඳහා මැයි මස 18, 25 සහ 29, ජර්මනිය සඳහා මැයි 18 සහ 25, ඉන්දියාවේ මුම්බායි සඳහා මැයි මස 22 සහ 29, චෙන්නායි සඳහා මැයි මස 18 සහ 25 යන දිනයන්හිදී ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මීට අමතරව එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව, ඉන්දියාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, ග්‍රීසිය, කැනඩාව, හොංකොං, ඩුබායි යන ගමනාන්තය දක්වා පමණක් මුහුදු තැපෑල මඟින්ද පාර්සල් සහ ලිපි යොමු කිරීමටද කටයුතු යොදා තිබේ.

    හොංකොං, ඩුබායි, මාලදිවයින යන ගමනාන්ත සඳහා වන ලිපි සහ පාර්සල් භාරගැනීම මැයි මස 22 වැනිදා අවසන් වන අතර එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව,දකුණු අප්‍රිකාව, ග්‍රීසිය යන ගමනාන්ත සඳහා ලිපි සහ පාර්සල් බාරගැනීම මේ මස 25 වැනිදා අවසන් වන බව තැපැල් දෙපාර්තුමේන්තු පවසයි.

    ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සඳහා මේ මස 27 වැනිදායින් සහ ඉන්දියාව සඳහා මේ මස 28 වැනිදාන් පසු පාර්සල් බාර නොගන්නා බවද එම දෙපාර්තුමේන්තුව කියයි.

    මුහුදු මාර්ගයෙන් ගමනාන්තයන් වෙත තැපැල් ප්‍රවාහනයේදී සාමාන්‍ය තත්ත්වය යටතේ මාස 02 කට ආසන්න කාලයක් ගතවන බවත් ලොව පුරා පවත්නා ආපදා තත්ත්වය හමුවේ මෙම කාල සීමාව තවදුරටත් දීර්ඝ වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද තැපැල් දෙපාර්තුමේන්තුව පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත. එසේම පවත්නා තත්ත්වය යටතේ ගුවන් ගමන් අවලංගු වීමට, සංශෝධනය වීමට, ප්‍රමාද වීමට ඉඩ ඇති බව ගුවන් සමාගමද පවසයි.

    Latest News