මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන 18

මැයි 11, 2020

    මහමැතිවරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම ලබන 18 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

    ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දූ ප්‍රනාන්දු සහ එස්.තූරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබිණි.

    පෙත්සම්කරුවෙක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ ඇති හෙයින් මැතිවරණය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

    ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර සිටියේ වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශයට පත්කිරීම අසීරු බවයි.

    මෙම පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් අටක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි.

    මෙම පෙත්සම කැඳවූ ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය දන්වා සිටියා.

    එහෙත් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මාහතා වෙනුවෙන් නීතිඥ වරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්.

    Latest News