මැයි 4 වැනිදා සිට කොළඹ - ගම්පහ - කළුතර සහ පුත්තලම රාජකාරී අරඹයි

අප්‍රේ 26, 2020

    කොළඹ - ගම්පහ - කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය මැයි 4 දක්වා දීර්ඝ කෙරේ.

    එදින සිට එම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන, ඇඳිරි නීතිය ලිහිල් කරමින් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    ඒ අනුව දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්ත, ගොඩනැඟිලි ඉදිකිරීම්, ව්‍යාපාර, සේවා ස්ථාන, එළවලු, මාළු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමට අවසර හිමිවෙයි.

    පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙ.ව. 10.00 ලෙස නියම කර ඇති අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් මැයි 4 සිට සිය සේවා ස්ථානවල ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

    එමෙන්ම ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යවශ්‍ය එකක් වුවද දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ 3න් 1 ක් පමණකි. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසින් බැහැරව යාමට පුද්ගලයින්ට අවසර දෙනු ලබන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන අතර එය මැයි 1 වැනි සිකුරාදා දක්වා සෑම දිනකම ක්‍රියාත්මක වනු ඇත.

    එමෙන්ම සියලු උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙලි, පෙරහැර, රැස්වීම් ආදිය ද නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත.

    Latest News