දින 54 අවුලට මංගලගෙන් විසඳුමක්

දෙසැ 21, 2018

    නව දැක්මක් සහිතව ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් නව අයවැයක් ඉදිරිපත් කරන බව මුදල හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් මේ බව පැවසී ය.

    අමාත්‍ය මංගල සමරවීර - “දින පනස් හතරක් අපේ රටට ආණ්ඩුවක් තිබුණේ නෑ. අතුරු සම්මත ගිණුම සම්මත කරගන්න බැරි වුණා නම් රටම මහා අර්බුදයකට පත් වෙනවා. රජයේ සේවකයන්ට පඬි ගෙවන්න බැරි වෙනවා. රටේම සාමන්‍ය ජනතාව අසීරි තත්ත්වයට පත් වුණා. අපේ රටේ ග්‍රීසියට වඩා ආර්ථික අර්බුදයකට තල්ලු වෙනවා.

    2019 වර්ෂය සඳහා නව අයවැයක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබෙනවා. නව දැක්මක් සහිතව අපගේ ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් නව අයවැයක් ඉදිරිපත් කරනවා. එය සංශෝධන සහිතව ඉදිරිපත් කරනවා. එතෙක් රජයේ සේවාවන් පවත්වාගෙන යාමට වගකිව යුතු රජයක් ලෙස ඉටු කර ගත යුතු වෙනවා. මුල් මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි ඉන්ධන සහනය දුන්නේ මිල සූත්‍රය නිසා ඩීසල් තවත් රුපියල් 05කින් අඩු කර අනෙක් ඉන්ධන මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා. අගෝස්තු මාසයේ මිල සූත්‍රය හඳුනවා දුන්නා. මිල බහින ආකාරයට ජනතාවට සහන ලබාදෙනවා යැයි පැවසී ය.

    2019 ජනවාරි 01 දිනයෙන් ආරම්භ වී 2019 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිලාභ සැලසෙන විසර්ජන පනත ආරම්භ වන දිනයට පෙරාතුවම වූ දිනය හෝ 2019 අප්‍රේල් 30 වන දිනය යන දින දෙක අතුරින් පලමුව එළඹෙන දිනයෙන් අවසාන වන කාලසීමාව සඳහා අතුරු සම්මත ගිණුම යෝජනා සම්මත කරයි.

    2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය (පොලී සහ වාරික) වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව 2019 වසරේ මුල් මාස හතරේ වියදමෙන් 55%ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා ය.

    මෙම අතුරු සම්මත ගිණුම මගින් මේ සියලු කටයුතු යළි ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ඇරැඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන් හට නිල ඇඳුම් සඳහා වව්චර් පත් ලබා දීමට හැකිව ඇත. මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 12:03

    Latest News