උතුරු - නැගෙනහිර ඉඩම් අක්කර 263ක් මුදාහැරීමට සැලසුම්

දෙසැ 18, 2018

    ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදාව දැනට පරිහණය කරනු ලබන රජයේ හා පෞද්ගලික ඉඩම්වලින් ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි අක්කර 263කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක සේවා මූලස්ථානය යටතේ මේ වසර අවසන් වීමට පෙර (2018.12.31) නිදහස් කිරීමට සැලසුම් කර තිබේ.

    යුද හමුදා මූලස්ථානය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ 2009 වසරේ මැයි මස 18 වැනි දිනට ප්‍රථම යුද හමුදාව විසින් උතුරු - නැගෙනහිර පළාත්වල පිහිටි ඉඩම්වලින් අක්කර 84,523ක ප්‍රමාණයක් භාවිත කර ඇති බවයි.

    එම ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 69,754ක් නිදහස් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.ඒ අනූව අද (18) පස්වරුවේ (6.30) දී මුලතිව්හි අක්කර 54.14ක් ඉඩම් ප්‍රමාණයක් එළඹෙන නත්තල වෙනුවෙන් ජනතාව වෙත නිදහස් කිරීමට සැලසුම් කර තිබේ.

    උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සදහා ජනපති විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරටත් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

    ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර ඉදිරි කටයුතු පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.

    විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සහ උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Land JPG 1

    Land JPG 2

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 08:39

    Latest News