නාම යෝජනා බාරගැනීම හෙට (19) දහවල් 12.00න් අවසන්

මාර් 18, 2020

    මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරගැනීම හෙට දහවල් 12.00න් පසු අවසන් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

    දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැක. ඒවා සලකා බැලීමෙන් අනතුරුව අදාළ තේරීම් භාර නිලධාරිවරයා නාම යෝජනා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

    මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රධාන පක්‍ෂ දෙකක් හා ස්වාධීන කණ්ඩායමක් අද නාම යෝජනා භාර දුන්නේය. මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම මහතා නාම යෝජනා බාරදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ජනබලවේගය වෙනුවෙන් නාම යෝජනා බාරදුන්නේය.

    එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා ද අද නාම යෝජනා බාර දුන්නේ ගාල්ල තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ඉදිරියේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නලීන් හේවගේ මහතා ද නාම යෝජනා බාරදුන්නේය.

    මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීම අද සිදු කෙරිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමින් අරුසුකච්චි සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා බාරදී තිබේ. ඒ තේරීම් භාර නිලධාරී කලාමතී පත්මරාජා මහත්මිය ඉදිරියේ.

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා අත්සන් තැබීම ඊයේ සහ අද සිදු කෙරිණ. ඒ, කොළඹ නෙළුම් මාවත පක්‍ෂ කාර්යාලයේදී. හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ.

    අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක මහතා ඉදිරියේ නාම යෝජනා අද භාර දුන්නේ ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතායි.

    වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද නාම යෝජනා බාරදුන්නේ කළුතර දිස්ත්‍රික්කය සඳහායි. ඒ ජාතික ජනබලවේගය වෙනුවෙන්.

    හිටපු විපක්‍ෂ නායක ආර්.සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ අද උදේ නාම යෝජනා බාරදුන්නේය. ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන්. හිටපු ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ද නාම යෝජනා බාරදුන්නේය.

    මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා බාරදීම සඳහා මව්බිම ජනතා පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ හා ජනසෙත පෙරමුණ යන පක්‍ෂවල නියෝජිතයන් අද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියේය. තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතාට නාම යෝජනා බාරදෙනු ලැබීය.

    ජනසෙත පෙරමුණ සිය නාම යෝජනා බාරදුන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයටයි. තේරීම් භාර නිලධාරි මහින්ද වීරසුරිය මහතා ඉදිරියේ නාම යෝජනා භාරදෙනු ලැබීය.

    මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. එහෙත්, රජය නිවාඩු දින තුනක් ප්‍රකාශයට පත්කර ඇති ‍හෙයින්, ඉදිරියේ දී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු ඒවා ලෙස සලකන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබීය. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී.

    සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ, එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සහ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ඇතුළු පිරිසක් ද අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමට එක්වූහ.

    Latest News