“කොරෝනා“ වැළැක්වීමට වැඩසටහන් රැසක් (වීඩියෝ)

මාර් 18, 2020
  • “කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමට රජය මෙන්ම, ස්වේච්ජා සංවිධාන ඇතුළු විවිධ පාර්ශවද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

    දිවයිනේ ප්‍රදේශ හා ස්ථාන රැසක් අදත් විෂබීජානුහරණයට ලක් කෙරිණ

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කෙරුණේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන්. සංස්ථාවේ ප්‍රධාන පරිපාලන ස්ථාන සහ ප්‍රවෘත්ති අංශය ද විෂබීජානුහරණයකරනු ලැබීය.

    දෙයියන්දර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මුඛ ආවරණ නිෂ්පාදනය ආරම්භ කර තිබේ. ඒවා රජයේ රෝහල් වෙත නොමිලයේ ලබාදීමට නියමිතයි. මේ වනවිට නිපදවා ඇති මුඛ ආවරණ සංඛ්‍යාව දහසකට ආසන්නවේ.

    නිරෝධායන සඳහා උපයෝගී කරගත හැකි වායු සමීකරණ යන්ත්‍රයක් හා නිරෝධායන ඇඳක් නිපදවීමට බද්දේගම ප්‍රදේශයේ තුෂාන් චන්ද්‍රානන්ද කරුණාරත්න නමැති තරුණයා සමත්ව සිටී.
    එම නිර්මාණය සඳහා ඉකුත් වසරේ නව නිපයුම් ප්‍රදර්ශනයක දී ඔහු රිදී සහ ලෝකඩ පදක්කම් ද දිනාගෙන තිබේ.

    අනුරාධපුර/කහටගස්දිගිලිය නගරයේ රාජ්‍ය ආයතන සහ බස් නැවතුම්පොළ හා බස් රථ විෂබීජානුහරණය පසුගියදා සිදු කෙරිණ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමට රජය මෙන්ම, ස්වේච්ජා සංවිධාන ඇතුළු විවිධ පාර්ශවද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ. දිවයිනේ ප්‍රදේශ හා ස්ථාන රැසක් අදත් විෂබීජානුහරණයට ලක් කෙරිණ.

    අම්බලන්ගොඩ ඩිපෝවේ බස් රථ සෑම ගමන් වාරයකින් අනතුරුවම, විෂබීජානුහරණයට පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ බස් රථ 35ක් විෂබීජානුහරණය කෙරිණ. අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණෙන ජනතාවට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහයසුකම් ද සලසා තිබේ.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රථ සියල්ල ද විෂබීජානුහරණය කෙරිණ.

    ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම පළාතේ ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා කිරීම සඳහා විශේෂ දුමායනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණ. එය සකස් කර ඇත්තේ දේශීය ඖෂධ වර්ග 15ක් යොදා ගනිමින්.

    මිද්දෙනිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ අනෙකුත් ස්ථාන ද විෂබීජානුහරණයට ලක් කෙරිණ. ඒ කටුවන ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන්.

    මේ අතර කොවිඩ් නයින්ටීන් රෝග හඳුනාගැනීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුර “මෙත්සිරි සෙවන“ පරිශ්‍රය ද අද සිට විවෘත කර තිබේ.

     

     

     

     

     

     

     

     

    Last modified on බදාදා, 18 මාර්තු 2020 20:04

    Latest News