චමින්දගේ ගෝලයෙක් වන හයිබ්‍රිඩ් සුද්දා කොටුවෙයි

ඔක් 18, 2018

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(18) අළුයම හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු වයස අවුරුදු 37 ක් වු සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා නම් පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ඔහු හෙරොයින් ජාවාරම පාදුක්ක, අංගම්පිටිය, නැටිඔළුව ප්‍රදේශයේ කුලියට ගත් නිවසක පවත්වා ගෙන ගොස් තිබේ.

    එහි සිටියදී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 100 ක් හා රුපියල් 750,000 ක මුදලක් හා මෝටර් රථ 2ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 13 කට අධික වෙයි.

    මෙම සැකකරු දැනට මරණ දඬුවමකට ලක්ව සිටින දෙමටගොඩ චමින්ද යන අයගේ ගෝලයෙක් බව පොලීසිය සඳහන් කරයි.

    එමෙන්ම පසුගිය මහ මැතිවරණ සමයේ 2015.07.31 වන දින බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී වෙඩි තබා කාන්තාවක් සහ පුද්ගලයෙකු ඝාතනය කර තවත් 12 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ ද මොහු සැකකරුවෙකු වන අතර, මේ වන විට මොහු ඇප මත සිටී.

    හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සිදු කරන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ඔක්තෝබර් 2018 14:32

    Latest News