ගඩොල් කපා පවුල රකින දිරිය කතක් (වීඩියෝ)

මාර් 09, 2020
  • ලෝකයම කාන්තා දිනය සමරද්දී, දියණියන් සිව් දෙනෙකු සහ තම රෝගී සැමියා ජීවත් කරවීමට මහ පොළොව සමඟ පොරබදින දිරිය කාන්තාවක් පිළිබඳ දඹුල්ලෙන් වාර්තාවේ.

    වකුගඩු රෝගයෙන් පීඩා විඳින සිය සැමියාට තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ද පතන ඇය නමින් ඒ. ජී. සුරංගි තනූජා කුමාරි වන අතර ඇය දඹුල්ල, දේවහුව, හීනුග්ගල ප්‍රදේශයේ ජීවත්වේ.

    34 හැවිරිදි සිව් දරු මවක් වන ඇයට සිටින්නේ දියණියන්ම සිව් දෙනෙකි. 14 හැවිරිදි අහිංසා නිසංසලා, 12 හැවිරිදි රවිෂා ශෙහාදී, 10 හැවිරිදි අමාෂා සත්සරණී සහ තුන් හැවිරිදි උපුලි ශමල්ෂ ඇගේ දියණියන් සිව් දෙනායි.

    surangi-02.jpg

    මෙම පවුල පෝෂණය කළ ඇයගේ සැමියා 42 හැවිරිදි එච්. එම්. රවින්ද ගුණතිලක මේ වන විට වකුගඩු දෙකම දියවී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ. සැමියාගේ සියලු ඕනෑ එපාකම් ඉටු කිරීම, දියණියන් හතර දෙනාගේ ආහාරපාන අධ්‍යාපන ආදිය ඇතුලු සියලුම වියදම් දැරීම ඇය අතින් සිදුවේ. තවද ජීවත් වීමට ඉදිකෙරෙමින් පැවති කුඩා නිවස වැඩ නිම කරගැනීම ද මේ පවුලට දැන් සිහිනයක් වී තිබේ.

    surangi-03.jpg

    මහ පොළොව සමඟ පොර බදිමින් ගඩොල් කපා පුළුස්සා විකුනා එයින් ලැබෙන සුළු ලාභයෙන් මුළු පවුලම ඇය නඩත්තු කරන්නීය. මහපොළොව කපා, දෙපාවලින් පදමි කොට, කඳුළු දහඩිය කැටිකොට, මැටි අනා ඒවායින් ගඩොල් කැපීම ඇය දීවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද සිදුකරන්නේ කුසට එක වේලක් ආහාර ගනිමිනි.

    දරුවන් සුද්ද පවිත්‍ර කිරීම අමතරව සැමියා නැහැවීම සුද්ද පවිත්‍ර කිරීම සියල්ල පැවරී ඇත්තේ ද ඇයටයි.

    surangi-01.jpg

    මේ සම්බන්ධව අදහස් දැක්වූ තනූජා කුමාරි මහත්මිය ...

    "මම පුදුම දුකක් විදින්නේ, දුවලා හතරදෙනා ජිවත්කරන්න ඕන. දවස් තුනෙන් තුනට මහත්තයව පොලොන්නරුව රෝහලට අරගෙන යන්න ඕනේ ලේ මාරු කරන්න. මට වෙන වැඩකට යන්න විදිහක් නැහැ මේ කට්ටිය දාලා. එක නිසා තමයි මම ගඩොල් කපන්න ගත්තේ. මැටි අනලා ගඩොල් කපලා වේලලා පුච්චලා විකුනුවහාම සල්ලි ලැබෙනවා. එකෙන් ඔක්කොම කරන්න බැහැ. අපිට දරුවන්ගේ වියදමවත් දෙනවානම් ලොකු පිනක් " යැයි ඇය පවසයි.

    මෙම සියලු අභියෝග හමුවේ මෙම කාන්තාව තම සැමියා ජීවත් කරවීම සඳහා ඇයට හිමි වකුගඩු දෙකෙන් එකක් පරිත්‍යාග කිරීමට තරම් ඇය දිරිමත් කාන්තාවක් වීම තවත් විශේෂත්වයකි.

    තනූජා කුමාරි මහත්මියගේ සැමියා රවින්ද්‍ර ගුණතිලක කියා සිටියේ තමා මියයන බව දන්නා හෙයින් බිරිඳ තමාට වකුගඩුවක් ලබා දීමට කැමැත්ත පළ කළ ද දියණියන් හතර දෙනා පිළිබඳ සිතා තම බිරිඳගේ වකුගඩුව ප්‍රතික්ෂේප කළ බවයි. බෙල්ල සිදුරු කොට බටයක් දමා එයින් ලේ පිරිපහදු කරමින් ජීවිතයත් මරණයත් අතර සටනක ඔහු නිරතව සිටියි. පොලොන්නරුව රෝහලෙන් රුදිර පිරිසිදු කිරීමට ගමන් කිරීමට මුදල් නැති නිසා දඹුල්ල රෝහලට ඒ පහසුකම සකසා දෙන්නයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    ලෝකය පුරා කාන්තාවන් ගැන කතා කරන මේ අවස්ථාවේදී මෙම දිරිය කාන්තාවට හෙට දවසේ කාන්තාවන් වීමට සූදානමින් පසුවන දියණියන් හතර දෙනාටත් මහා සවියක් වූ සුරංගි තනුජා කුමාරි මහත්මිය ලෝක කාන්තා දිනයේ සමස්ත කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දියණියන් හතර දෙනාට ඉගෙනගැනීම සඳහා සහයෝගයක් ලබාදෙන ලෙසය.

    අනාගතය බාර ගැනීමට සිටින දියණියන් හතර දෙනෙක් කාන්තාවන් ලෙස ලෝකය ඉදිරියට ගෙන ඒම ඇයගේ එකම සිහිනයයි.

    ඔවුන්ගේ ලිපිනය ඒ. ජි. සුරංගි තනූජා කුමාරි, හීනුග්ගල, දේවහුව, දඹුල්ල.

    දුරකථන අංකය 076 0478830,

    මහජන බැංකුවේ ගලේවෙල ශාකාවේ ගිණුම් අංකය 

    ඒ. ජි. සුරංගි තනූජා කුමාරි 
    115 2 001 2 0039566 

    Last modified on සදුදා, 09 මාර්තු 2020 20:39

    Latest News