ඉදිරියේදී ඉන්ධන මිල අඩුවේ (වීඩියෝ)

මාර් 09, 2020
  • ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වෙමින්‌ පවතින හෙයින්‌ එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මේ‌ සම්බන්ධයෙන්‌ අමාත්‍ය මණ්ඩලය දැනුවත්‌ කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව, මෙරට ඉන්ධන මිල ඉදිරියේදී සංශෝධනය වනු ඇත.

    කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීම හේතුවෙන්‌ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටී තිබේ. එය සියයට 30කට ආසන්න ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ. ලොව ප්‍රමුඛ පෙලේ තෙල් අපනයනකරුවෙකු වන සෞදි අරාබිය සිය බොරතෙල්‌ විකුණුම්‌ මිල පහත දැමීම මීට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වේ.

    ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා බොරතෙල්‌ නිෂ්පාදනයට එල්ල වී ඇති බලපෑම පිලිබඳ සාකච්ඡාවක්‌ පසුගියදා වියානා හිදී පවත්වා ඇත. ඔපෙක්ස්‌ සංවිධානයේ රටවල්‌ හා රුසියාව ඊට සහභාගී වී තිබේ. බොරතෙල්‌ දිනක නිෂ්පාදනය බැරල්‌ මිලියන 1.5 දක්වා අඩු කළ යුතු බවට මෙහිදී සාකච්ඡා කෙරුණ ද ඒ පිළිබඳව නිෂ්චිත එකඟතාවකට පැමිණීමට හැකි වී නැත. 1991 වසරෙන්‌ පසු ලොව වාර්තා වූ විශාලතම බොරතෙල්‌ මිල පහළයාම මෙයයි.

    Last modified on සදුදා, 09 මාර්තු 2020 20:24

    Latest News