කැලිඩෝ වෙරළ තීරය ජනපති නීරීක්ෂණයට

මාර් 08, 2020

    කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ සංවර්ධන ව්‍යාපෘතිය අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    කළුතර පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා වෙරළ තීරයට පැමිණියේය. 2017 හටගත් ගංවතුරෙන් මෝය ආශ්‍රිත වැලිපර සේදී යාමට ලක් විය. මේ නිසා කළුතර උතුර වෙරළ තීරය ඛාදනය විය. මීට පිළියම් ලෙස ගැඹුරු මුහුදෙන් වැලි ගෙන වෙරළ සංරක්ෂණය කිරීම ඇරඹිණ. ව්‍යාපෘතිය අදියර 03කි. පළමු අදියර යටතේ කි.මි 02ක් දිග මීටර් 25ක් පළල කෘතිම වෙරළ තීරයක් ඉදි කෙරේ. ගොඩකිරීම් සඳහා වැලි මීටර් කියුබ් ලක්ෂ 03ක් යොදා ගැනේ.

    මේ වන විට මීටර් 500ක කොටසක් ඉදිකර අවසන්ය. පළමු අදියර ඉදිරි දෙසතිය තුළ නිම කිරීමට හැකි වෙතැයි වෙරළ සංවර්ධන ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක මහතා ජනාධිපතිතුමා සමග පැවසීය. කිලෝ මීටරයක් දිග අඟුලාන වෙරළ තීරය දෙවන අදියර ලෙසත්, මීටර් 500ක් වූ ගල්කිස්ස වෙරළ තීරය තුන්වන අදියර ලෙසත් සංවර්ධනය කෙරේ. අප්‍රේල් 20 වනදා වන විට අදියර තුනෙහිම වැඩ නිම කළ හැකි වෙතැයි සුජිව රණවක මහතා සඳහන් කළේය.

    කලුතර දෙසට ගමන් කරමින් සිටී ජනාධිපතිතුමාගේ අවධානය මොරටුව පානදුර ආශ්‍රිත දෛනික නගර පවිත්‍රකරණය කෙරෙහි ද යොමු විය. නගරාශ්‍රිත පවිත්‍රකරණ කටයුතු විධිමත් අයුරින් සිදු නොවීම පිළිබඳ ජනාධිපතිතුමා එවෙලෙහිම පළාත් පාලන නියෝජිතයන් සහ පොලිසියේ නිලධාරීන් දැනුවත් කළේය. දෛනික පවිත්‍රකරණ සේවා නිසි ලෙස සිදු නොවීම පිළිබඳ වහා පරීක්ෂණයක් කිරීමටත් හැකි ඉක්මණින් නගරය පිරිසිදු කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිතුමා මේ කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව අවධාරණය කළේය.

    Latest News