“කොරෝනා“ පැතිර යන රටවල සිට පැමිණෙන්නන්ට ලබන සඳුදා සිට නිරෝධායන මධ්‍යස්ථාන 2ක්

මාර් 07, 2020

    කොරෝනා වෛරසය පැතිර යන රටවල්වල සිට මෙරටට පැමිණෙන්නන් ලබන සඳුදා සිට නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සඳහා යොමු කෙරෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඒ සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය යොදා ගන්නා බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමඟ ඊයේ පැවති සාකච්ජාවේදී මෙරටට පැමිණෙන්නන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන දෙකක් ස්ථාපනය කිරීමට තීරණය කෙරුණු බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ අනුව, කොරෝනා වෛරසය ශීග්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කෙරෙනවා.

    තෝරාගත් එක් මධ්‍යස්ථානයක් වන්නේ, මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලයයි. එය, තරමක හුදකලා ප්‍රදේශයක පිහිටා තිබෙනවා. පසුගිය සමයේ මෙම විශ්වවිද්‍යාලය පිලිබඳව වැඩි කතාබහකට ද ලක්වුණා. ඊට අමතරව තෝරා ගෙන ඇත්තේ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයයි. එම මධ්‍යස්ථානය වැලිකන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. කලක් එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් පැවති ස්ථානයක් වන මෙය, දැනට පවත්වාගෙන යන්නේ, විවිධ හේතු නිසා නොමඟ ගිය පුද්ගලයන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙසයි.
    නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සකසමින් සිටින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    “කොවිඩ් නයින්ටීන්“ රෝගය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙරට රාජතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පියවර ගත්තා. විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීම සඳහා විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නරායන් පෙන්ඩිසේ මහත්මිය ද එක්ව සිටියා.

    Ravenath px 900 07 03 20

    මේ අතර කුවේට් රජයේ තීරණයක් මත මාර්තු 6 වැනිදා සිට සතියක කාලයක් කුවේට් රාජ්‍ය සඳහා වන ගුවන ්ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ බව, කුවේට් සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුම් දුන් බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රටට පැමිණෙන හා පිටත්ව යන සියලු ගුවන් ගමන් මේ අනුව නවතා දැමෙනවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ද චීනය වෙත කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News