Port City ආයෝජනට විදේශීය සමාගම් කැමැත්ත පළ කළා; වරාය නගර ව්‍යාපෘතිය

මාර් 07, 2020

    කොළඹ වරාය නගරයේ ආයෝජන සඳහා විදේශීය සමාගම් කිහිපයක් කැමැත්ත පළ කර ඇතැයි, වරාය නගර ව්‍යාපෘතිය පවසනවා.

    මෙහි සංවර්ධන මෙහෙයුම් 2018 වසරේ ආරම්භ කළ යුතුව තිබුණ ද, වසරකට වැඩි කාලයක් ඉදිකිරීම් නවතා තැබීම නිසා එම ආයෝජන ප්‍රමාදවීමට ද හේතුවී තිබෙනවා. වරාය නගරයේ එක් අන්තයක ගොඩනැගෙන නව වෙරළ තීරයට අමතරව, අභ්‍යන්තර ජල තීරය හෙවත් ඇල මාර්ගය සහ සැහැල්ලු යාත්‍රා අංගනය මේ ව්‍යාපෘතියට ඉහළ ආකර්ශනයක් ලබාදෙනු ඇති. ලොව ධනවත් සංචාරකයන්ට සිය පෞද්ගලික යාත්‍රා මගින් පැමිණිය හැකි සැහැල්ලු යාත්‍රා අංගයනයක් දැනට පවතින්නේ, ශ්‍රී ලංකාවේ එක් වරායක් ආශ්‍රිතව පමණයි. ඊට වඩා කිහිප ගුණයක් පුළුල් වූ පහසුකම් මෙමගින් සංචාරකයින්ට ලබාදීමට නියමිතයි.

    “ශ්‍රී ලංකාවේ දැනට මෙවැනි සැහැල්ලු යාත්‍රා අංගනයක් ක්‍රියාත්මක වන්නේ ගාලු වරාය ආශ්‍රිතව පමණයි. කෙසේ වෙතත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ මෙවැනි සැහැල්ලු යාත්‍රා අංගනයක් ඉදිවීම නිසැකවම ඉතා විශාල ආයෝජනයක් බවට පත්වනවා නොඅනුමානයි“.

    ක්‍රීඩා හා විනෝදාස්වාදය සැපයෙන සැහැල්ලු සංචාරක යාත්‍රා හා කුඩා බෝට්ටු නවතා තැබීමේ පහසුකම් ද පවතිනවා. මෙවැනි අංගනයක් වරායකින් වෙනස් වන්නේ, මගී හෝ භාන්ඩ ප්‍රවාහන හෝ නෞකා හැසිරවීමක් ඉන් සිදු නොවන නිසායි. යම් ගොඩනැගිල්ලක් හෝ බිම් කොටසක් හෝ ජල තීරයකට මුහුණ ලා පැවතීම එහි වටිනාකම ඉහළ නැංවීමට සාධකයක්. එමෙන්ම වරාය නගරයේ හරිත බිම් තීරයට අමතරව, නිල් පැහැ ජලයෙන් පිරී පරිසරයක් නිර්මාණය කිරීම ද එහි ආකර්ශනය ඉහළ නැංවීමට හේතුවනු ඇති. වරාය නගරයේ සංවර්ධන සැලසුම් දර්ශකයට අනුව, ඕනෑම බිම් කොටසක ඉදිකිරීම් සිදු කළ හැක්කේ, 60%ක ප්‍රමාණයක පමණයි. එවැනි බිම් කොටස් 74ක් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා වෙන්කර තිබෙනවා.

    City px 900 07 03 20

    කටුනායක ගුවන් තොටුපොළ, කොළඹ වරාය, වරාය නගරය හා කොල්ලුපිටිය ප්‍රදේශය යා කරමින් පොළොව මතින් හා භූගතව ඉදිවන නව මාර්ගයේ මූලික වැඩ දැන් ආරම්භ වී තිබෙනවා. එය කොළඹ නගරය ඔස්සේ මීගමුව පාර සහ ගාලු පාර දෙසට යාමේදී ඇතිවන දැඩි තදබදයට කදිම විසඳුමක් ද වනු ඇති. කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ නව කැලණි පාලම ව්‍යාපෘතියෙන් ඇරඹෙන මාර්ගය, කුළුණු මතින් වරාය ප්‍රවේශ මාර්ගයට සම්බන්ධ වී වරාය නගරයේ පිහිටි කොළඹ ප්‍රදීපාගාරය අසලින් භූගත මාර්ගයක් ලෙස ඉදිරියට යාමට නියමිතයි. එය, එතැන් සිට ලෝටස් වටරවුම, ගාලු මුවදොර පිටිය හරහා භූගතව කිලෝ මීටර 1.8ක් පමණ ගමන් කොට, ගාලු මුවදොර හෝටලය ආසන්නයේ දී යළි මතුපිටට ප්‍රවේශවීම සැලසුමයි. එම ස්ථානයේ සිට ඉදිරියට යන මාර්ගය, දැනට කොල්ලුපිටිය දක්වා ඉදිකර ඇති සමුද්‍ර මාවතට සම්බන්ධ කෙරෙනවා. මෙම භූගත සමුද්‍ර මාවත දිගුව කොළඹ වරාය නගරයත් සමඟ අනාගතයේ අපේක්‍ෂා කෙරෙන දැඩි රථවාහන තදබදයට කදිම විසඳුමක් බවට පත්වනු ඇති.

    Latest News