කොළඹ අඩු පහසුකම් ජනාවාසවල ජනතාවට නව නිවාස ව්‍යාපෘතියක්

මාර් 05, 2020

    අලුතින් ගෘහස්ත ජල සබඳතා එක් ලක්‍ෂ පනස් දහසක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    ගෘහස්ත පානීය ජල සබඳතා ලබා ගැනීමට අපහසු පවුල් සඳහා මෙම වසරේ මුල් කාර්තු දෙක ඇතුළත අදාළ ජල සබඳතා ලබාදීමට කඩිනම් වැඩසටහනක් ඇරඹීමට නියමිතයි. එය යෝජනා කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතායි.

    කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන ජනතාවගේ නිවාස අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ස්ටේඩියම් ගම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. “කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය“ යටතේ මෙය ක්‍රියාත්මකයි.

    ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ද අනුමැතිය හිමිවුණා. ඒ අනුව, ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිතයි. යෝජිත කමිටුව සකස් කරන කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා අදහස් විමසා අවසන් කෙටුම්පත පිළියෙළ කෙරෙනු ඇති.

    උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට නව තාක්‍ෂණික කොන්ක්‍රීට් පැනල්වලින් සමන්විත ස්ථිර නිවාස 28,000ක් ඉදිකිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මකයි. ලංකා බැංකුවෙන් කාලීන ණය මුදලක් ලබාගෙන නිවාස දහසක් ඉදිකිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ගිවිසුමට අත්සන් තැබුණා. ඒ අනුව, පසුගිය පෙබරවාරි 21 වැනිදා ව්‍යාපෘති කටයුතු ආරම්භ කළ බවට ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුවත් කරනු ලැබුවා.

    අධික වටිනාකමින් යුත් හෝටල් හා සංචාරක ක්‍ෂේත්‍රයට අදාළ රජයට අයත් දේපල සංවර්ධනය කිරීම සඳහා ආයතනයක් ස්ථාපනය කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවුණා. ග්‍රෑන්ඩ් හයාට්, ක්ලින්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හෝටල් අයත් ආයතන මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හිමිකාරිත්වය දරන එක් සමාගමක් යටතට පත් කෙරෙනු ඇති.

    Latest News