“කොරෝනා“ ආරක්‍ෂාවීමට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න; සෞඛ්‍ය අංශ

මාර් 05, 2020

    කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්‍ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ ඇතුළු පාර්ශවයන් ධනාත්මක පියවර රැසක් ගෙන තිබෙනවා.

    ඒ අතර, මේ සම්බන්ධයෙන් ජනතාවට ද විශාල වගකීමක් පැවරෙනවා. ඒ අනිවාර්යයෙන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තම සෞඛ්‍ය රැක ගැනීම සඳහා ක්‍රියාත්මක වීමයි. මේ දිනවල සමාජයේ විශේෂ අවධානයට ලක්වී ඇත්තේ “කොවිඩ් නයින්ටීන්“ රෝගය පිළිබඳවයි. දැනට දේශීය වශයෙන් රෝගියෙකු පිළිබඳ වාර්තා වී නොමැති වුවත්, ලොව ඇතැම් රටවල ශීඝ්‍රයෙන් මෙය පැතිර යමින් පවතිනවා. ජනතාවට රෝගය බෝවීම වළක්වා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය පුදුරු කිහිපයක් නිර්දේශ කර තිබෙනවා. ඒ අතර, නිතර සබන් යොදා දෑත් සේදීම ප්‍රධානයි. කෑමට පෙර, පිරිසක් සමඟ ගැවසීමෙන් සහ නිවසෙන් පිටතට ගොස් පැමිණි පසු, කිවිසුමකින්, කැස්සකින්, සොටු සිරීමෙන් පසු, වැසිකිලි යාමෙන් පසු හා ක්‍රීඩා කිරීමෙන් පසුව ද රෝහල් ගත කර ඇති අයට උවටැන් කිරීමෙන් පසුව ද සබන් යොදා දෑත් සේදිය යුතුයි.

    විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ....

    “කොරෝනා කියන එක දැනට හොයාගෙන තියෙන්නේ බෝවෙන්නේ කහින කොට පිටවන සෙම මගින්. අපි හොඳ සෞඛ්‍ය පුරුදුවලින් ඉන්නවානම් බෝවෙන්න තියෙන හැකියාව අවමයි. රෝගියෙක් කහිනවානම්, කිවිසෙනවානම් ඉවත ලන ටිෂු කඩදාසියකින් මුහුණ වසාගෙන ඉන්නවානම් ඊට පසුව ඒ ටිෂු කඩදාසිය ආරක්‍ෂිත බැහැර කරනවානම්, ටිෂු එකක් අත නැත්නම්, වැලිමිටි ඇතුල්පැත්තෙන් නහය සහ කට වසාගන්නවා නම් තව කෙනෙකුට බෝවීමේ හැකියාව අඩුයි“ යැයි විශේෂ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ කියා සිටී.

    උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්‍ෂණ ඇත්නම්, ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඉවත් වන්න. වෛද්‍ය උපදෙස් ලබාගන්න. පසුගිය දින 14 තුළ සිදු කළ විදෙස් සංචාර ඇත්නම්, ඒ බව වෛද්‍යවරයාට දැනුම් දෙන්න.

    Latest News