ඝන අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවීම මැයි මාසයේ සිට

මාර් 03, 2020

    කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

    කෙරවලපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කර ඇති අතර එමගින් නිපදවන විදුලි බලය මිල දී ගැනීමට ලංකා විදුලි මණ්ඩලය තීරණය කර ඇත.

    මෙම විදුලි බලාගාරය ඉදි කිරීම් කටයුතු දැනට අවසන්ව තිබෙන අතර එහි විදුලිය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති රැස්විමක දී අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ කැලි කසල ගැටළුවට මෙමගින් තිරසාර විසඳුමක් ලැබෙන බවයි.

    දැනට කොළඹ නගර සීමාව තුළ පමණක් දිනකට කසල ටොන් 550-600ත් අතර ප්‍රමාණයක් එකතු වේ. එහෙත් මෙම බලාගාරය මගින් විදුලිය නිපදවීම සඳහා දිනකට කසල ටොන් 1000ක් අවශ්‍යවේ. කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් ඝන අපද්‍රව්‍ය සියල්ලම ලබා ගැනීමට මේ වනවිටත් කොළඹ නගර සභාව සමග හා පළාත් නාගරික අධිකාරිය සමග ගිවිසුම් ගත වී තිබේ.

    නමුත් කොළඹ නගර සීමාවේ කැලිකසල ප්‍රමාණවත් නොවන හෙයින් ගම්පහ හා මොරටුව නාගරික බල ප්‍රදේශවලින් කැලිකසළ තවත් ටොන් 400ක් ලබා ගැනීමට නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා අනෙකුත් ආයතන සමග ගිවිසුම් ගතවීමට ද නියමිතයි.

    මෙම බලාගාරයෙන් මෙගවොට් 10ක විදුලිබලයක් නිපදවීමට නියමිත අතර එම කටයුතු මැයි මාසයේ සිට ඇරඹීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 15:04

    Latest News