හම්බන්තොට-කොළඹ අධිවේගයේ නව බස් සේවාවක් (වීඩියෝ)

පෙබ 25, 2020
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර කිහිපයක සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා නව බස් සේවා අද ආරම්භ කෙරිණ.

    ඒ, ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව විවෘත කිරීමත් සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකට සෘජු ප්‍රවේශය ලැබී තිබේ. ඒ අනුව අද සිට ලංගම බස් රථ 16ක් හම්බන්තොට, කතරගම, තංගල්ල යන නගරවල සිට දිනපතා ධාවනය කරවීමටයි පියවර ගෙන ඇත්තේ. හම්බන්තොට නගරයෙන් අද උදේ පළමු බස් රථය කොළඹ බලා ගමන් ආරම්භ කළේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන්. කතරගම සිට කොළඹ දක්වා වන බස් සේවාවක් ද ආරම්භ කෙරිණ. එම බස් රථය සුභ මොහොතින් ගමන් ආරම්භ කළේ, තිස්සමහාරාම බස් නැවතුම්පොළේ සිටයි.

    කොට්ටාව, මාකුඹුර අන්තර් හුවමාරුවේ සිට සම්මත වේග සීමාවට යටත්ව ධාවනය කෙරෙන රථයකට පැය දෙකහමාරකින් හම්බන්තොට නගරයට ප්‍රවේශ විය හැකිය. පසුගිය ඉරිදා විවෘත කෙරුණු ගොඩගම-පාලටුව නව අන්තර් හුවමාරුවෙන් පසු අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අඟුණකොළපැලැස්ස, බරවකුඹුක, සූරියවැව, අන්දරවැව හරහා හම්බන්තොට හෝ මත්තල හෝ දක්වා යාමට රථවාහනවලට දැන් අවස්ථාව සැලසී තිබේ.

    මේ මාර්ගය ඔස්සේ කතරගම දක්වා යාමට ඉදි කෙරුනු නව කෙටි මාර්ගය දැන් භාවිත කළ හැකියි. අධිවේගී මාර්ගය මත්තල හුවමාරුවෙන් පසු හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගත් නවීන පුළුල් මාර්ග පද්ධතියට සම්බන්ධවන අතර එම මාර්ග පද්ධතිය ඉදිකරනු ලැබුවේ මීට වසර 07කට පමණ ඉහතදී. මත්තල අන්තර් හුවමාරුව මගින් අධිවේගී මාර්ගයෙන් පිටත්වන රථවාහනවලට ලුණුගම්වෙහෙර දක්වා පැමිණ ලුණුගම්වෙහෙර ජලාශය මාර්ගය ඔස්සේ කතරගම නව නගරයට ළඟාවිය හැකියි. එම මාර්ගයෙන් මත්තල සිට කතරගම දක්වා ඇත්තේ කිලෝ මීටර 33ක දුරක් පමණි. ඉතා පටු මාවතක්ව පැවති ලුණුගම්වෙහෙර ජලාශ මාර්ගය මේ වනවිට මංතීරු 4ක පුළුල් මාර්ගයක් ලෙස සංවර්ධනය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 20:10

    Latest News