විල්පත්තු කල්ලාරු රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධ පෙත්සමේ අවසන් තීන්දුව අප්‍රේල් 3

පෙබ 19, 2020

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ අවසන් තීන්දුව අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

    පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම පිළිබඳව විභාගය අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවසන් කෙරිණ.

    ඉන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කිරීම අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඬුල්ල නියෝග කළේ.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ.

    එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කෙරිණ.

    Latest News