මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම් දීමට ක්ෂණික ඇමතුම් අංකයක්

පෙබ 19, 2020

    පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් ප්‍රජාව සක්‍රීය ව බලගැන්වීමත්, වැරදි අවබෝධයන් මත මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් එයින් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධ ව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

    එහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49ක් ඉලක්ක කරගනිමින් “සුරක්ෂිත හෙට දවසක් ”යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වාදීම ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

    අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, අධ්‍යාපන අතිරේක ලේකම් එච් යූ ප්‍රේමතිලක, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, බස්නාහිර පළාතේ පළාත් අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ඩයලොග් ආයතනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙහි දී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිත ව සිදුවන වැරදි පිලිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව, සමස්ත දිවයිනේම වයස අවුරුදු 18ට අඩු පිරිමි දරුවන් පමණක් හෙරොයින්, ගංජා, මත් පෙති, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් දුම්වැටි යන කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කරන බවට වාර්තා වී ඇති මුලු සිසුන් සංඛ්‍යාව 293,826 ක් වෙයි.

    මේ අයුරින් කුමන හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවූ සමසත දිවයිනේම වයස අවුරුදු 18ට අඩු ගැහැනු දරුවන් 2,046ක් බවත් මෙය සෙසු සියලු දිස්ත්‍රික්කවලට සාපේක්ෂ ව බස්නාහිර පලාත ඉතා ඉහළ අගයක් ගන්නා බව ද මේ සිසුන් ඉලක්ක කරගනිමින් ඔවුන් මත් උවදුරින් බේරාගැනීම වෙනුවෙන් මහා පරිමාණයේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදිය යුතුව ඇති බව ද සඳහන් කළේය.

    2018 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 60,506ක් බවද, ඔවුන් අතර වයස අවුරුදු 18ට අඩු සිසු දරුවන් 3,455ක් සිටින බව ද වාර්තා වී තිබේ.

    සිසුන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන් තුළ ඒ සම්බන්ධව අලෙවිකරුවන් සහ පොළඹවන්නන් විසින් ඇතිකර ඇති දුර්මත බව ද සඳහන් කළ තේනබන්දු මහතා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිගුකාලීන ව නිදි වැරීමට හැකියාව ලැබෙන බව, ධාරණ ශක්තිය වැඩිදියුණු වන බව, සමාජයේ කැපී පෙනීමට හැකිවන බව, ලිංගික ආකර්ශණය දිනාගත හැකිවන බව, ලිංගික ශක්තිය වැඩිවන බව, ආදී කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විද්‍යාත්මක ව තහවුරු කර ඇති බව ද අවධාරණය කළේය.

    මේ නිසා මෙම තොරතුරුවලින් දරුවන් නිවැරදිව දැනුවත් කරමින් ඔවුන් පූර්ණකාලීන ව නියාමනය කිරීමේ වගකීම පාසල් මට්ටමින් සිදුකිරීමට එක් එක් පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරෙන අතර, ඔවුන් විසින් පාසලේ ආදිශිෂ්‍යයින් හෝ දෙමව්පියන් අතරින් සන්නිවේදන හැකියාව හා දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මේ සඳහා සහභාගී වීමේ උද්යෝගය ඇති නියෝජිතයින් තෝරාගන්නා බවත් අනතුරුව, ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔවුන් වෙත විශේෂ පුහුණුවක් ලබාදෙන බවත් එක් පාසලකට එක් පොලිස් නිලධාරියෙකු බැගින් යොදවමින් මෙම ක්‍රියාවලිය නියාමනයට හා සම්බන්ධීකරණයට කටයුතු සම්පාදනය කරන බවත් ඒ මහතා විසින් වැඩිදුරටත් පැහැදිලි කළේය.

    පාසල් පරිශ්‍රයන් තුළ හෝ පාසල් ආශ්‍රිත පරිසරයන්හි කිසියම් හෝ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකමක්, වරදක්, සිදුව ඇත්නම් ඒ සම්බන්ධ ව වහාම දැනුම් දීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම ද මෙහි දී සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා ඩයලොග් ආයතනයේ බස්නාහිර පළාත් අලෙවි කළමනාකාර මංගල අතපත්තු මහතා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා වෙත මෙම නව ක්ෂණික ඇමතුම් අංකය හා ඊට අදාළ පැකේජය අද දින භාරදෙන ලදී. මෙම නව ක්ෂණික ඇමතුම් අංකය වන්නේ 0777128128 යි.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 08:00

    Latest News