“කොරෝනා“ හෙවත් “කොවිඩ් 19“ මියගිය පිරිස 1523 දක්වා ඉහළට

පෙබ 15, 2020

    කොරෝනා හෙවත් “කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් චීනයේ මියගිය පිරිස 1523 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ දී මරණ 140කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 66,500කට ආසන්නයි. වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස බෙයිජිං අගනුවරට පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝදායනයට ලක්විය යුතු බව චීන බලධාරීන් නියෝග කර ඇත.

    “කොවිඩ් නයින්ටීන්“ වෛරසය ව්‍යාප්තව ඇති කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හුබෙයි පළාතෙන් නව රෝගීන් 2400කට අධික පිරිසක් ඊයේ වාර්තා විය. ඊයේ සිදුවූ මරණ 139න් 107ක්ම සිදුව ඇත්තේ හුබෙයි පළාතෙන්. රෝගය වැළඳී ඇති පිරිසෙන් 11ස් දහසකට අධික පිරිසක් එනම් 18%ක පමණ පිරිසක් බරපතල තත්වයේ පසුවන බව වාර්තාවේ. චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කඳවුරු රැසක් විවෘත කර ඇති බවයි. හුබෙයි පළාත පුරා වෛද්‍ය කණ්ඩායම් 200කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරතව ඇති බව එම කොමිසම කියා සිටී. ප්‍රතිකාරවල නිරත සෞඛ්‍ය සේවකයන් 1700කට අධික පිරිසකට ද “කොවිඩ් නයින්ටීන්“ වෛරසය ආසාදනය වී තිබේ. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු බෙයිජිං අගනුවරට පැමිණෙන සියලු දෙනා නිරෝදානයට ලක්විය යුතු බව චීන රජය නියෝග කර තිබේ.

    බෙයිජිං අගනුවර වෙසෙන පිරිස මිලියන 20කට අධිකයි. අප්‍රිකානු මහාද්වීපයෙන් පළමු “කොවිඩ් නයින්ටීන්“ රෝගියා වාර්තා වීමෙන් පසුවයි මේ පියවර ගෙන ඇත්තේ. ඊජිප්තුවෙන් එම රෝගියා වාර්තා වී තිබේ. චීනයෙන් පිටත රටවල් 24කදී වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 500කට අධිකයි. හොංකොං, පිලිපීනය හා ජපානයෙන් මරණ තුනක් වාර්තා වී ඇත. “කොවිඩ් නයින්ටීන්“ වෛරසයේ ව්‍යාප්තිය හා බැරෑරැම්කම සොයා බැලීම සඳහා චීනයට සහය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    Latest News