ගිහාන් පිලපිටිය ගැන නීතිපතිගෙන්, වැ.බ. පොලිස්පතිට යළි උපදෙස්

පෙබ 11, 2020

    මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණ පියවර අද දිනම ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යළි උපදෙස් ලබාදී තිබේ.

    ඒ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද දන්වා තිබේ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පසුගියදා උපදෙස් ලබාදුන්නේ, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට නියමිත නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ඒ රන්ජන් රාමනායක හා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදු වූ දුරකතන සංවාද හෙළිදරව් වීමත් සමඟයි. ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඊයේ දිනයේ නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ, ප්‍රශ්නගත සංවාදයේ සිදුවී ඇත්තේ, කුමන අධිකරණ බල සීමාවකදී ද යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවයි. එහෙත්, නීතිපතිවරයා පෙන්වා දෙන්නේ, “නෑ...නෑ... මගේ වාහනය හරවන් ගමන් උසාවියට“ යන ගිහාන් පිලපිටිය මහතාගේ ප්‍රකාශයෙන් අධිකරණ බලසීමාව පැහැදිලිවම අනාවරණය වී ඇති බවයි.

    එවැනි අවස්ථාවක අධිකරණ බලසීමාව කුමක්දැයි, මා ඔබෙන් හේතු විමසන තෙක් ඒ බව විමසා නොසිටිම බලවත් කණගාටුදායක තත්වයක් බව ද නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට අද යොමු කළ ලිපියේ සඳහන්. ඒ අනුව, පසුගිය ජනවාරි 23 වැනි දින ලබාදුන් උපදෙස් අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නියමිත අධිකරණ පියවර අද දිනම ලබාගන්නා ලෙසට නීතිපතිවරයා තවදුරටත් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 20:20

    Latest News