අග්‍රාමාත්‍යතුමා ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගනී (වීඩියෝ)

පෙබ 10, 2020
  • ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දූත පිරිස අද බුද්ධගයාවේ ආගමික වතාවත්වල නිරත වූහ.

    අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවක නිරත වන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දූත පිරිස සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථානය සහ ඓතිහාසික ස්ථානවල ඊයේ සංචාරය කළේය. අග්‍රාමාත්‍යවරයා, ප්‍රථමයෙන් සාරානාත් කෞතුකාගාරය නැරඹීමට එක්විය. බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කළ ඉසිපතනයේ “මිගදාය පූජාභූමිය“ වන්දනාමාන කළේ ඉන් අනතුරුවයි. මූලගන්ධ කුටි විහාරයට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා, ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගත්තේය. ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, එහිදී ඔවුන් අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ ඉතා උණුසුම් අයුරින්.

    අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස, අද පෙරවරුවේ ඉන්දීය ජනතාව පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය නැරඹීමට එක්වූහ. ඉන්දියාවේ ජනගහනයෙන් 40%ක් පමණ ගංගා නදිය අසබඩ වාසය කරයි. එය පිරිසිදු කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරම්භ කර ඇරති “නමාමි ගංගේ“ නම් සංරක්‍ෂණ වැඩසටහන මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.
    අග්‍රාමාත්‍යවරයා, බුද්ධගයා විහාරස්ථානයට පැමිණියේ ඉන් අනතුරුවයි. අද පෙරවරුවේ “ගයා“ ගුවන් තොටුපොළට පැමිණි අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

    මහබෝධි විහාරයේ ආගමික වතාවත්වලට එක්වූ අග්‍රාමාත්‍යවරයා, විහාරස්ථානයේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ සහ ශ්‍රී ලාංකික බැතිමතුන් සමඟ සුහද සාකච්ජාවක ද නිරත වූහ. නවදිල්ලි නගරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවලින් අනතුරුව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි, මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සංස්කෘතික සහ ආගමික ස්ථාන නැරඹීමට එක්වුණේ.

    දෙරට සහ ජනතාව අතර ඇති ශක්තිමත් සංස්කෘතික බැඳීම් තවදුරටත් තහවුරු කරගැනීමට, අග්‍රාමාත්‍යවරයා මෙම පූජනීය ස්ථානයන්හි සංචාරය කළ අතර, ඔහු හෙට පෙරවරුවේ තිරුපති හි සංචාරය කිරීමට එක්වේ. අනතුරුව, ඉන්දීය රාජ්‍ය සංචාරය නිමකරමින් අග්‍රාමාත්‍යවරයා යළි මෙරටට පැමිණිමට නියමිතයි.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 20:24

    Latest News