“කොරෝනා“ සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා, මනා සුවෙන්

පෙබ 10, 2020

    ජපානයේ යෝකොහාමා වරායේ නැංගුරම් ලා තිබෙන කොරෝනා ආසාදිතයන් සහිත සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා, මනා සුවයෙන් පසුවන බව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    නෞකාවේ 130කට අධික පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වී අවසන්. ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා මරණ 908ක් ම වාර්තා වන්නේ චීනයෙන්. එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව, එනම් 97ක් ඊයේ වාර්තා විය. ලොව පුරා ආසාදිතයින් 40,234 දෙනෙකු හඳුනාගෙන තිබේ. රෝගය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 27ක්. චීනයේ සිටින විදේශිකයන් 27 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව, එරට විදේශ අමාත්‍යාංශය පවසයි. මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 3,200කට අධිකයි.

    ජපානයේ යොකොහාමා වරායේ නවති ඇති ඩයමන්ඩ් ප්‍රින්සන් නෞකාවේ මගීන් අතර කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම, එරට රජය මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටලුවක්. ඊයේ දිනයේ 64ක් වූ ආසාදිතයන් සංඛ්‍යාව, අද වනවිට 130 ඉක්මවා තිබේ. එහි සිටින මගීන් සංඛ්‍යාව 2,660ක් වන අතර, කාර්ය මණ්ඩල සංඛ්‍යාව 1,045ක්. එහි නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකයි.

    මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනය සහ අනෙකුත් තෝරාගත් රෝහල් කිහිපයක, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 178 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකර තිබේ. ඉන් බොහෝ පිරිසක් වෛරසය ආසාදිත නොමැති බව තහවුරු කොට, රෝහලෙන් පිටව ගොස් ඇති අතර, 18 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වේ. රෝගය වැළඳුණු චීන ජාතික කාන්තාව, මේ වනවිට පූර්ණ සුවයෙන් පසුවේ. ඇය රෝහලෙන් පිටත් කරන දිනයක් තවමත් තීරණය කර නොමැති බව, වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. වූහාන්වල සිට පැමිණි පිරිසේ ද කොරෝනා රෝග ලක්‍ෂණ සහිත කිසිවෙකුත් මෙතෙක් වාර්තා වී නොමැත.

    Latest News