පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපතිත්වය යළිත් හඳුන්නෙත්තිට

පෙබ 07, 2020

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපතිත්වයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා යළි පත්කර තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කළේය.

    රාජ්‍ය සංස්ථා සහ මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක මගින් ආණ්ඩුවට පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම්, විගණකාධිපතිවරයාගේ සහය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කර්තව්‍ය‍ය වේ.

    අද කාරක සභාව රැස්වූ අවස්ථාවට කමිටු සාමාජිකයන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත යන අමාත්‍යවරුන් සහ , හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, අශෝක් අබේසිංහ, ඩී.වී චානක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    Latest News