ආනන්ද විද්‍යාලයීය “සත් මහල” ජනපති අතින් සිසු අයිතියට (වීඩියෝ)

පෙබ 07, 2020
  • කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණ.

    ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය. විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් පිළිගනු ලැබීය. සිය පාසල් ජීවිතයේ වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින් ජනාධිපතිතුමා ප්‍රථමයෙන්ම විහාර මන්දිරය වැඳ පුදා ගත්තේය. පෝතක බාලදක්ෂයන්ගේ පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ගේ යෂ්ටි උත්තමාචාරය මැද පීඨිකාවට පිවිසි ජනාධිපතිතුමා වෙත ශිෂ්‍ය භට උත්තමාචාරයක් ද පිළිගැන්විණ. මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ආනන්දීයන් සිහිපත් කරමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. විද්‍යාලයීය ආදි කතෘවරුන් සමරා හෙන්රි ස්ටීල් ඕල්කට් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.

    මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල මෙයයි. වැය කළ මුදල රුපියල් කෝටි 62කි. විද්‍යාලයේ කණිෂ්ඨ, ද්වීතීයික අංශයේ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පංතිකාමර 44ක්, විද්‍යාගාර, පරිගණකාගාර හා චිත්‍ර, නැටුම්, සංගීත යනාදී සෞන්දර්ය විෂයයන් සඳහා කාමර ද විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය සහ ගුරු විවේකාගාරයක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඊට අයත්ය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් 2015 ජනවාරි මස 01 දින ඉදිකිරීම් සඳහා මුල් ගල් තැබිණි.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපායමාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. අනාගතයේ බිහිවන දරුවන් හැකියාවෙන්, නිපුණතාවෙන්, දැනුමෙන් සන්නද්ධ කොට ඉදිරි අභියෝග හා බාධක ජය ගත හැකි පිරිසක් බවට පත් කළ යුතු යැයි එතුමා පැවසීය.
    “තවමත් දියුණු වෙමින් පවතින රටක් යන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කරගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුයි. එම දැක්ම හා සැලැස්ම රජය සතුයි. ඉදිරියේ දී කරන්නට වැඩ රාශියක් ඇත. ජය ගන්නට අභියෝග රාශියක් තිබේ. අතීතයේ බරපතල අභියෝග ජයගත් ජාතියක් ලෙස අනාගතයේ දී අපට එය කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසි නායකත්වයක්” ජනාධිපතිතුමා කියා සිටියේය.
    ගුරු කේන්ද්‍රීය හා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට ගමන් කිරීමේ කාලය එළැඹ ඇතැයි ද එතුමා පෙන්වා දුන්නේය.

    දරුවන් ප්‍රාථමිකයට ඇතුලත් කළ දින සිට පාසලෙන් පිටත්ව යන තෙක්ම දෙමව්පියන්ගේ අවධානය තිබෙන්නේ දරුවන් කෙසේ හෝ විභාගවලින් සමත් කරවීමටයි. දරුවන්ට පාසල් ජීවිතයේ දි දෙමව්පියන් විසින් අනවශ්‍ය පීඩනයක් ඇති නොකළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය. අපට අවශ්‍ය විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් දරුවන් සකස් කිරීම නොව, රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීයව දායක විය හැකි පරිපූර්ණ දරුවෙකු හදා ගැනීම බවද එතුමා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව වැඩි පිරිසක් බඳවාගැනීමේ සැලසුම් දැන් සකස් කර තිබේ. ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘතීක අධ්‍යාපන ක්‍රමයක් සැකසීම තම ප්‍රධාන අරමුණ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 21 වන සියවස හඳුන්වන්නේ දැනුමේ සියවස ලෙසයි. මෙය ශ්‍රී ලංකාවට තිබෙන සුවිසල් අවස්ථාවක්. නිෂ්පාදන කර්මාන්ත සඳහා අවස්ථා සීමා වූ අපට වාසනාවකට මෙන් බුද්ධිමත් ශ්‍රම බලකායක් සිටින බව පැවසූ ජනාධිපතිතුමා ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතු බව ද කියා සිටියේය.

    ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි පාණන් ඇතුළු මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසූරිය, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරු ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, විවිධ ක්ෂේත්‍ර රැසක නියතුව සිටින ආදි ආනන්දියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Ananda-01.jpg

    Ananda-02.jpgAnanda-03.jpg

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 20:08

    Latest News