වසන්ත කරන්නාගොඩට යළි අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

පෙබ 07, 2020

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද දෙවන දිනයේත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේය.

    චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදුකළේය.මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී දෙවන දිනටත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විත්තිකාර කරන්නාගොඩ මහතා පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේ පිහිටි නිවසකට වැලිකඩ පොලිසිය මගින් සිතාසි භාර දීම සඳහා ගොස් තිබුණත් එහි ඔහු නොසිටි බව දන්වා සිටියේය.

    අධිකරණය හමුවේ පෙනී සිටි වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ද මෙම කරුණු තහවුරු කළ අතර සිතාසි භාර දීම සඳහා කරන්නාගොඩ මහතාගේ නිවසට තමන් දෙවතාවක් ගිය බවත් එහි ඔහුගේ නිවස වසා තිබූ බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. විනිසුරුවරු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා කරන්නාගොඩ මහතාගේ එම නිවස වසා තිබුණ ද ඔහු තවමත් එහි පදිංචිව සිටින බව කියා සිටියේය. තවදුරටත් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විත්තිකාර කරන්නාගොඩ මහතා පදිංචිව සිටින තවත් නිවසක් කිරුළපන ප්‍රදේශයේ තිබෙන බවත් ඊට රහස් පොලිසියේ නිලධාරීන් ඊයේ දින ගොස් සිතාසි බාර දීමට උත්සාහ කළත් එහි ඔහු නොසිටි බව ප්‍රකාශ කර සිටියේය.

    වසන්ත කරන්නාගොඩ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවට සිටින එකම අද්මිරාල්වරයා බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඔහු ප්‍රසිද්ධ රාජ්‍ය උත්සවවලට පවා පෙනී සිටින බවද සඳහන් කළා. එසේ තිබිය දී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් වන රහස් පොලිසියට වසන්ත කරන්නාගොඩ මහතා සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන බවද සඳහන් කර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරන්නාගොඩ මහතාට ආරක්ෂාව සැපයීම තවමත් නාවික හමුදාව විසින් සිදුකරන බවයි දන්වා සිටියේ.

    මේ හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයාව මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

    ඉන් අනතුරුව රජයේ පාර්ශවය විසින් මෙම නඩුවට අදාළ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ලේඛන වල පිටපත් විත්තියේ නීතිඥවරු වෙත භාර දීම සිදු කළේය.අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 24 වැනිදා කැඳවීමට ද නියම කෙරිණ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 13 දෙනා අද දින අධිකරණයේ පෙනී සිටියේය.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 11:12

    Latest News