රැකියා විරහිත උපාධිධාරීන් 54,000කට රැකියා ලබාදීමේදී, උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන් ද ඇතුළත් කරගන්නා ලෙස, ජනාධිපතිගෙන් උපදෙස්

පෙබ 06, 2020

    රැකියා විරහිත උපාධිධාරීන් 54,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩසටහනට උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන් ද ඇතුළත් කරගන්නා ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උපදෙස් ලබාදී තිබේ.

    ඒ සඳහා වන යෝජනාවට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

    ගතානුගතික පරිපාලන සංස්කෘතියෙන් ඔබ්බට ගොස්, ජනතාව ඉලක්ක ගරගත් රාජ්‍ය සේවාවක් සැපයීමේ වැඩසටහන යටතේ මෙම උපාධිධාරීන්ට රැකියා හිමිවේ. මේ සඳහා තෝරැ ගැනෙන්නේ 2012 වසරේ සිට පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා විශ්වවිද්‍යාලවලින් හා බාහිර වශයෙන් උපාධිය අවසන් කළ පුද්ගලයින්, ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අංශයේ අංශ 12ක් යටතේ වෙන්, වෙන් වශයෙන් වසරක විශේෂ පුහුණුවක් ඔවුන්ට ලබාදෙනු ඇත. අනතුරුව, ඔවුන් රැකියා සඳහා යොමු කිරීම රජයේ අපේක්‍ෂාවයි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    “සේවා නියුක්ත කරන ස්ථානයේ අවම වශයෙන් වසර පහක කාලයක් ස්ථාන මාරුවීමකින් තොරව රැකියාවේ යෙදෙන්න ඕනේ. උසස් තාක්‍ෂණය පිළිබඳ උපාධියට සමාන ඩිප්ලෝමාවන් තිබෙනවා නම් ඒ අය පිළිබඳ මේ රැකියා සැපයීමේදී සලකා බලන්න කියලා විශේෂ කැබිනට් පත්‍රිකාවේ සටහනක් ජනාධිපතිතුමා විසින් යොදලා තියෙනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Bandula px 900 06 02 20

    මේ අතර කිලෝ මීටර ලක්‍ෂයකින් සමන්විත විකල්ප මාර්ග පද්ධති සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. වසර 10ක් තුළ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැති මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    ලකුණු දීමේ ක්‍රමවේදයක් කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා. ලකුණු 50කට වඩා වැඩියෙන් ගත්තොත් පමණයි ඒ පාර ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගන්න පාරක් ලෙස තෝරා ගන්නේ. අඩු තරමේ නිවාස 25ක්වත් තියෙන්න ඕනේ. වෙළෙඳ පොළට, රෝහල්වලට ගමන් කරන්න එවැනි ආර්ථික කටයුත්තකට අදාළ වෙන පාරක් වෙන්න ඕනේ“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. පසුගිය රජය සමයේ සිදුවූ ව්‍යාපෘති සඳහා නොගෙවූ මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම සඳහා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරිණ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “නොගෙවා තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 155යි. ගෙවන්න ඕනේ එවා බිලියන 212ක්. එවිට බිලියන 367ක්, කෝටි 3600ක් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා, වෙන විකල්පයක් නැතිම නිසා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවෙන් අනුමත වීමෙන් පසු ගෙවිය යුතු සියලු දෙනාගේ මුදල් ගෙවා අවසන් කරනවා.“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෝරටර් රථ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා මුලික හා දිස්ත්‍රික් රෝහල් 150කට බලය පැවරීමේ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. මෙතෙක් එම වෛද්‍ය සහතිකය නිකුත් කරනු ලැබුවේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින්.

    අමාත්‍ය රමේෂ් පතිරණ මහතා....

    “සැහැල්ලු වාහන බලපත්‍ර ලබාගැනීම සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ කාලය සහ ශ්‍රමය වැය කරමින් පැය ගානක් ඒ වෙනුවෙන් මිඩංගු කරමින් සිදුවන කාර්ය පහසුවට කර ගැනිමට අවස්ථාවක් ලැබෙන බවට, අපි විශ්වාස කරනවා“ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් මගී පර්යන්තය සඳහා විශේෂිත පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60ක් පමණ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළේය.

    Latest News